අද මා මේ ලිපිය ලියන්නේ හෘද සැත්කම් සඳහා සිංගප්පුරුවෙ (Mount Elizabet) රෝහලට දුවපු සෞඛ්‍ය ඇමතිවරු හිටපු රටක කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සා අංශයේ හැට එක්වෙනි වාට්ටුවේ තිස් එක්වැනි ඇඳ අංකයේ සිටය.

මේ ලිපිය ලියවෙන මොහොතේද වෛද්‍යවරු මෙන්ම හෙද නිලධාරිනියෝ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට විශාල සටනක යෙදී සිටිති.

එක රෝගියෙකු දැඩි සත්කාරයට යොමුකරන ඔවුහු දැඩි සත්කාරයේ ඉඩකඩ නැති නිසාවෙන්ම දැඩි සත්කාරයේ සිටිය යුතු යන්තම් ජීවිතය දකින රෝගියෙක් නැවතත් වාට්ටුවට රැගෙන එති.

එසේ රැගෙන එන රෝගියාව රැක ගැනීමටද ඔවුන් කරනුයේ වෙනම යුද්ධයකි. එම පැරණි රෝහල් ගොඩනැගිල්ලේ අවම පහසුකම් මැද ජීවිතයත් මරණයත් අතර සටන් කරනුයේ රටේ ඇමතිවරුනට (Mount Elizabet) රෝහලට ගොස් සීත කාමරයක සිට හදවත හොඳකර ගන්න කතිර ගැසූ ජනතාවය.

කොළඹ ජාතික රෝහල් ඉතිහාසය ගැන සොයා බැලීමේදී එය වසර එකසිය පනහක දුර අතීතය දිව යන්නකි. වර්ෂ 1864 දී අක්කර තිස් දෙකක භූමියක ඇරඹි කොළඹ ජාතික රෝහල ලංකාවේ ප්‍රධාන විශාලතම ශික්ෂණ රෝහලය.

එදා මහ රෝහල ලෙස නම් කළ අද ඔබ හඳුනන ජාතික රෝහල ඇරඹීමෙන් වසර අසූ අටකට පසු එනම් 1952 දී රෝහල් මුළුතැන්ගෙය සහ පළමු හෘද රෝග ඒකකය ඉදිකරන ලදී. රෝහලේ පළමු විවෘත හෘද සැත්කම 1955 දී සිදුවිය.

අතීතයේදී හෘද රෝග නිවාරණ ඒකකයක් ලෙස ගොඩ නැගි හෘද චිකිත්සා ගොඩනැගිල්ලේ අද සැපයෙන පහසුකම් රාශියකි. සේවා පහසුකම් මෙන්ම රෝගීන් ගණන වැඩි වුවද ගොඩනැගිල්ල අයත් වන්නේ අතීතයටය.

හෘද රෝගීන් නේවාසිකව සිටින වාට්ටුවේ බැලූ බැලූ අත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සිර කොට දමා ඇත්තේ ඔවුනට ඇති පුංචි ඉඩකඩද අපතේ නොයන ලෙසය. එහි යන ඇතැමෙකුට එකී වාට්ටු කිහිපය ස්ටෝරු කාමර ලෙසද පෙනුනහොත් එහිද වරදක් නැත.

ගොඩනැගිල්ලේ ඇතැම් බිත්ති පුරාවට පැතිරී ඇති දිලීර විශේෂ තවත් අනතුරකට අත වනමින් බලා සිටින අයුරු එහි යන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන තත්ත්වයකි.
ඉරිදා ලංකාදීප අප දුටු ඇත්ත ඒ ආකාරයෙන් වෙනවිට වසරකට අධික කාලයක් පොරොත්තු ලේඛනයේ හිටි බව කියන වාට්ටු අංක 71 පුටුවකට බරදී සිටි හදවත් රෝගියෙක් වන ජේ.එච්.එම්. ජයසේන මහතා පැවසුවේ මෙවැනි කතාවකි.

‘‘මම අනුරාධපුර කැකිරාවේ ඉඳලා ආවේ. රැකියාව ලෙස මම කරන්නේ හේන් ගොවිතැන. හාර්ට් ඇටෑක් එකක් හැදිලා රෝහල් පොරොත්තු ලේඛනයේ අවුරුද්දකට අධික කාලයක් හිටියා.

ඊයේ මේ ඒකකයට ඇතුළු වුනේ ස්ටෙන්ත් (Stent) දාන්න ඊයේ රෑ ආව වෙලාවේ ඉඳලා මේ කුකුල් කූඩුවක් වගේ කාමරයේ අපි දාසය දෙනෙක් නිදා ගත්තා.
මේක ජාතික රෝහලක් වෙලා තියෙන්නේ නමට කියලා හිතෙනවා. මීට වඩා ඉඩකඩ අපේ පළාතේ පොඩි රෝහල්වල තියෙනවා. තව ටිකකින් සැත්කමට ගන්න මට එයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. රෑ එළි වෙනකන් නිදි වරාගෙන හිටපු තෙහෙට්ටුවත් එක්ක.’’
මෙහිදී අදහස් දැක්වීමට එක්වුණා කුරුණෑගල සිට පැමිණි ඩී.එම්. තිලකරත්න මහතා ‘‘මමත් අවුරුද්දකට කිට්ටු කාලයක් ලිස්ට් එකේ ඉඳලා ඊයෙ උදේ රෝහලට ඇතුළු වුණේ.
රෑ එළි වෙනකන් නිදි වරාගෙන මේ පුටුවේ වාඩි වෙලා හිටි එක තමයි මම කළේ.

රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරු හැකි උපරිමයෙන් ඔවුන්ගේ රාජකාරිය කරනවා. ආව වෙලාවේ ඉඳලා කළයුතු රුධිර සාම්පල් පරික්ෂාවනුත් කඩිනමින් කළා. එහෙත් මේ රෝහලේ ඉඩ පහසුකම් නම් අන්තිමයි.

මේ අසනීපයට හරියට බෙහෙතක් නොකළ නිසා මගේ පවුලේ ආර්ථිකයත් අද හොඳ තත්ත්වෙක නෑ. අපට ගෙවන වාට්ටු වලට යන්න ආර්ථික හයියක් නෑ. මෙහි එන රෝගීන්ට ඇඳ විවේකය ලැබිය යුතු වුණත් සිදුවෙලා තියෙන්නේ පුටුවකට වී නිදි කිරන්න.

අලු‍ත් රජයේ වැඩපිළිවෙළ දැනට සාර්ථකයි කියා හිතෙනවා. නව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහත්තයා මේ රෝගීන් මුහුණ දෙන ගැටලු‍ව විසඳයි කියලා බලාපොරොත්තු වෙනවා.

දුර බැහැර ඉඳලා රෝහලට ඇතුළුවන රෝගීන්ට ගමන් මහන්සිය නිවාගන්න වෙලා තියෙන්නේ හිටගෙන නිදාගෙන.

හෘදයාබාධ එසේ නොමැති නම් Heart attacks රොගී තත්ත්වයට ගොදුරු වීමෙන් 2019 වර්ෂයේ කොළඹ ජාතික රෝහල් හෘද රෝග ඒකකයට වාර්තා වුණ රෝගීන් ගණන එකොළොස් ලක්ෂ අසුඅටදාස් පන්සිය හතළිහකි (1188540)

ප්‍රාථමික කිරීටක සැකසීම් පටු රුධිර නාළ විවෘත කිරීම සඳහා කැතීටරයක් භාවිතා කරමින් ස්ටෙන්ත් (Stent) දැමීමේ ප්‍රතිකාරය කළ රෝගීන් ගණන හාරදහස් එකසිය අසු දෙකකි (4182).

කිරීටක ධමනි පද්ධතියේ අවහිරතා තක්සේරු කිරීම සඳහා හෘදයේ රුධිර නාළවල රෝග විනිශ්චය පරීක්ෂණය හෙවත් ඇන්ජියෝ ග්‍රෑම් (angiogram) පරික්ෂාව සිදුකළ රෝගීන් සංඛ්‍යාව නවදහස් එකසිය අසු අටකි (9188) කි.

එමෙන්ම හෘද ශල්‍ය ඒකකයේ සිදුකළ කිරීටක ධමනි වලට බද්ධ කර අවහිරතා මඟහරවා හෘද පේශිවලට රුධිර සැපයුම වැඩිදියුණු කිරීම හෙවත් ඔබට වඩා හුරුපුරුදු නමක් වන බයි පාස් සංකීර්ණ සැත්කම් ගණන නවසිය එකකි (901)

මෙහි ඇති භයානක තත්ත්වය නම් සායන සඳහා යොමුවන රෝගීන් ගණන 1188540 ලෙස වාර්තාගත වෙනවිට මෙකී බයිපාස් සැත්කම්, ස්ටෙන්ත් දැමීම් අන්ජියෝ ග්‍රෑම් (angiogram) පරික්ෂණ සඳහා යොමු විය යුතු රෝගී පොරොත්තු ලේඛනය වර්ෂ 2022 දක්වා දිගු වීමය.

සායන සඳහා පැමිණ අව්වේ දුක්විඳින හෘද රෝගීන්

සැත්කම් පොරොත්තු ලේඛනය වසර ගණනකින් දිගු වු තැන රෝගීන්ට සිදුව ඇත්තේ පෝලිමේ සිටියදී ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා මිය යෑමටය.

රෝගීන් එකොළොස් ලක්ෂ අසු අටදාහක් සායන ගතවෙන විට සැත්කම් සඳහා පොරොත්තු ලේඛනය 2022 දක්වා වීමට හේතුව කුමක්ද? මෙකී රෝගින් මරණයෙන් ගලවා ගැනීමට නොහැකි වී පෝලිමේ සිටියදී ඒ රෝගීන් මිය යන තත්ත්වෙට පත් වෙනතුරු වෛද්‍යවරුන්ට කිසිවක් කරන්න බැරි තරමට ඇති බාධාව කුමක්ද?

ඉරිදා ලංකාදීප අප විමසා සිටියා හෘද රෝග චිකිත්සක ඒකකයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමෙන්.

මුලින්ම අප හා එක්වුණේ හෘද සංගමයේ සභාපති හෘද රෝග විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි යු. අමරසේකර මහතාය.

ඔහු පැවසුවේ මෙවැනි කතාවකි. මේ හෘද රෝග ඒකකයේ ඉතිහාසය ගත්තොත් අවුරුදු පනහක් පමණ පැරණී. එදාට වඩා අද රෝගීන් වාර්ථාවීම ඉහළයි. මේ ගොඩනැගිල්ල කිසි සේත්ම ප්‍රමාණවත් නෑ. ඉතින් පොරොත්තු ලේඛනයේ සිටියදී රෝගීන් මැරී වැටෙනවා.

මෙය අප කඩිනමින් විසඳිය යුතු ජාතික ප්‍රශ්නයක්.

මුල් අවදියේ මෙය ඉදිකර තිබුණේ රෝග නිවාරණ ඒකකයක් විදිහට. අද තත්ත්වය වෙනස් හදවත් රෝගීන් මුළු ලංකාවෙම විවිධ පළාත් වලින් මෙහාට යොමු වෙනවා. ඔවුන්ට ප්‍රතිකාර කරන්න සියලු‍ පහසුකම් තිබුණත් ඉඩ පහසුකම් නැතිකම නිසාම නේවාසික ප්‍රතිකාර කිරීම දුෂ්කරතා මැද කරන්න සිදුවෙලා.

හෘදයාබාධ හැදී රෝහලට ගෙන එන රෝගීන්ට මෙම ඒකකයේ පැය විසිහතර පුරා ප්‍රතිකාර කරන කණ්ඩායම් පහක් අපි හැදුවා. එක ටීම් එකක හෘද විශේෂඥ වෛද්‍යවරයෙකුත් යොදවා ඉන්නවා. එහෙම කළත් ඇඳන් වැඩි කරන්න බිල්ඩිමේ තියෙන ඉඩකඩ අඩු නිසා අපට ලෙඩුන් බේරගන්න ලැබෙන්නේ අඩුවෙන්. සමහරු පොරොත්තු ලේඛනයේ සිටියදීම මියගිය බව දැනගන්න ලැබෙනවා. මෙය හරිම ඛේදවාචකයක්.

ඇක්සිඩන්ට් වුණොත් යුද්දෙන් මැරුනොත් ඒක අපි කතා කරනවා. එය අපට දැනෙනවා. නමුත් මේ නිහඬ මරණ ගැන කාටවත් දැනීමක් නෑ.

සමහර රෝගීන් ලිස්ට් එකේ ඉඳීමත් මරණයට ලංවීමක්. මොකද නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් වත් කපන්න බැරි තත්ත්වෙට ඒ රෝගීන් කාලයත් එක්ක ළංවෙලා. අප රෝගියා හඳුනා ගන්නා විට ඔහුගේ වයස පනහක් නම් ලිස්ට් එකේ ඉන්න කාලයත් සමග ඔහු තරුණ වෙන්නේ නෑ තවත් වයසට යෑමයි වන්නේ.

එවැනි කෙනෙකුට සැත්කම් කිරීමේදී සංකීර්ණත්වය වැඩී. රජයට දරන්න වෙන වියදම වැඩී. රෝගියා වයසත් සමග සැත්කම් කිරීමට ශරීර සෞඛ්‍ය තත්ත්වය සුදුසු නැති තත්ත්වයට පත්වෙලා සිටිනවා වෙන්න පුළු‍වන්.

සැත්කමට සුදානම්ව පැමිණි හෘද රෝගීන් ඉඳගෙන නිදියන අයුරු

මෙය රටක් විදිහට අප මුහුණදෙන ඛේදවාචකයක් වගේම විසඳිය යුතු ජාතික ප්‍රශ්නයක්.

මෙහිදී අප සම්බන්ධ කරගත්තා කොළඹ හෘද චිකිත්සක ඒකකයේ ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාව. ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.
‘‘මේක කොළඹ ජාතික රෝහල. රටේ වෙනත් රෝහල්වල කළ නොහැකි හෘද සැත්කම් කරගන්න රටේ විවිධ පැති වලින් රෝගීන් මෙහි එනවා. රෝගීන් වැඩි වුනාට ඉඩකඩ වැඩිවෙලා නෑ.

මම අහන්නේ හෘද චිකිත්සක ඒකකයට මේ තරම් කුඩම්මගේ සැලකිලි ඇයි කියලයි. දැන් බලන්න ස්නායු ශල්‍ය ඒකකය (Neuro trauma Unti), බාහිර රෝගී අංශය (O.P.D.), හදිසි අනතුරු සේවාව (Accident Service), විකලාංග ඒකකය (Orthopedic Unit) මේ හැම අංශයකටම බිල්ඩින් ආවා. නමුත් හෘද අංශයේ බිල්ඩිමට බාලගිරි.

පත්වෙන හැම රජයකම අමාත්‍යවරු තමන්ගේ පළාතේ රෝහල් වලට නවීන බිල්ඩිම් හදනවා. ඒත් ලජ්ජයි කියන්න ජාතික රෝහලේ මේ හෘද ඒකකයට බිල්ඩින් ප්ලෑන් ආවත් කිසියම් හේතුවක් නිසා ඒවා නවතිනවා. ආපස්සට යනවා.

ඒ විතරක් නෙවෙයි අද අපේ රටේ මිනිස්සු හෘද රෝගයක් නිසා සිදුවන මරණ කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව පිළි ගන්නවා. එසේ වීම වැරදී. හෘද රෝගින් බොහෝවිට මිය යන්නේ හරි ප්‍රතිකාර නියම වෙලාවට නොලැබීමෙන් සහ ප්‍රතිකාර සඳහා පහසුකම් නැති වීමෙන්.

මෙහි කොළඹ ජාතික රෝහල ලෙස අපට නවීන වෛද්‍ය උපකරණ, වෛද්‍ය දැණුම විදේශීය පුහුණුව හැමදේම ලැබුණා. නමුත් ඒ දැනුම තිබියදී හෘද රෝගීන් මියයාම අපරාධයක්, ඛේදවාචකයක්.

හෘදයාබාධ කියන්නේ නිසි ප්‍රතිකාර කිරීමෙන් ජීවිත බේරාගත හැකි රෝගයක්. එයාට හාර්ට්ඇටැක් හැදිලා අවුරුදු හතළියෙන් මැරුණා පනහෙන් මැරුණා කිය කිය ඇයි ඔබ මරණය පිළිගන්නේ.

සැත්කම් වලට රෝහලට එන රෝගීන් පොඩි කූඩුවක වගේ කාමරයක ඉන්නවා දැක්කම මට හරිම වේදනාවයි. මේ අපේ රටේ අම්මලා තාත්තලා. අපට ඕනෑ මේ තත්ත්වය වෙනස් කරන්නයි.

සමහරදාට අපි දවසකට ලෙඩ්ඩු දාහක් විතර සායන වලදී බලනවා. සායන පෝලිමේදී අව්වට වැස්සට අහුවෙන රෝගීන් දුක් විඳිනවා.

අපට සායන පවත්වන්න යන්න සිදුව තිබෙන මේ කුඩා ශාලා ඇතුළේ පැය ගණන් හිටගෙන ඉඳලා ක්ලාන්ත වී රෝගීන් වැටෙනවා. සමහර අවස්ථා තිබුණා මට මතකයි දවසක් හෘදයාභාධයකට ලක්ව පෝලීමේ සිටියදී අයෙක් මැරී වැටුණා.

මම ලංකාවේ පළවෙනි වතාවට කරන්න සැලසුම් කළා ‘‘ටැවී’’ කියන (Aortic) කපාට වල සිදුකරන සැත්කම. එය මිලියන හතරක් වැයවෙන සැත්කමක්.

මෙම සැත්කම පොඩියට හරි සිදුකර ජීවිත බේරා ගතහැකි තත්ත්වයේ රෝගීන් දහයක් මට හමුවුණා. අපට දැනුම උපකරණ තිබිලත් ප්‍රතිකාර පමාව නිසා එයින් හත්දෙනෙක්ම ප්‍රතිකාර නැතුවම මැරිලා ගියා.

එවැනි රෝගීන් හරිම සංකීර්ණ තත්ත්වයකයි පසුවන්නේ.

මම අවුරුදු තුනක් තිස්සෙම මේ සැත්කම කරන්න පහසුකම් හොයන්න මහන්සි වුණා. හැම නිලධාරියෙක්වම දැනුවත් කළා. එයට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සපයා ගන්න බැරිවුණා. එදා අපේ වත්මන් ජනාධිපතිතුමා ඕ.පී.ඩී පැත්තට ආවා කියලා දැනගත්තම අප මග බලන් හිටියා එතුමා මෙහි පැමිණේවි කියලා. මේ තත්ත්වය එතුමා නිවැරදිව තේරුම් ගනී කියන විශ්වාසය අපට තියෙනවා.

හෘද රෝග ඒකකයට නවීන ගොඩනැගිල්ලක් ලබාදීම රටට ජාතියට කරන විශාල මෙහෙවරක් වේවි.’’

මෙහිදී අදහස් දැක්වීමට එක්වුණා ජාතික රෝහල් හෘද චිකිත්සක ඒකකයේ ජ්‍යෙෂ්ඨ හෘද විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය.

‘‘රෑකට හදිසි රෝගියෙක් බලන්න යනවා නම් අපට යන්න වෙලා තියෙන්නේ බිම නිඳන් ඉන්න රෝගීන්ගේ ඇඟට උඩින් පැනපැන. සමහර වෙලාවට සැත්කම් සඳහා රෝහලට ඇතුළත් වුණ බිම නිඳන් ඉන්න හෘද රෝගීන් ඇහැරවලා හදිසි ලෙඩා බලන්න වාට්ටුව තුළට අප ඇතුළු වෙනවා. මෙහි ඇත්ත තත්ත්වය කිව්වට මදි එය දකින්න නම් රෑ අටට විතර හැත්තෑ එක හැට එක වාට්ටුවලට එන්න.

සමහර වෙලාවට අපිට අයි.සී.යු. බෙඩ්ස් මදිකම නිසා අයි.සී.යු. වලට රෝගියෙක් යොමුකරන කොට සුව අතට හැරීගෙන එන අයි.සී.යු. සිටිය යුතු රෝගියෙක් එයින් ඉවත් කරන්නට අපට සිදුවෙලා තිබෙනවා.

එසේ ඉවත් කර ගන්නා රෝගියාගේ තත්ත්වය නැවත නරක අතට ගමන් කළහොත් නැවතත් එම රෝගියාව අයි.සී.යු. දාන්න අපට සිදු වෙනවා.

වාට්ටු වල පවතින්නෙත් විශාල තදබදයක්. සමහර සැත්කම් පරීක්ෂණ පස්සට යනවා. ලැබ් කැඩුනහම අමතර ලැබ් මෙහි නෑ. අප අද මේ කතාකරන්නේ රෝගීන්ගේ පැත්තෙන්. ඔවුන්ට සිදුවන ගැටලු‍ ගැන ගොඩනැගිල්ලක අවශ්‍යතාව අත්‍යවශ්‍යතාවයකට පත්වෙලා.

ලැබ් කැඩුනහම දුරබැහැර සිට පැමිණි රෝගීන්ට දිනයක් ලබාදී හරවා යවන්න අපට සිදුවෙලා තියෙනවා. අමතර ලැබ් නවීන ශල්‍යාගාර අවශ්‍ය බෙඩ්ස් අපට තියෙනවා නම් ජීවිත දහස්ගණනින් බේරාගන්න පුළු‍වන්.

මොකද අප විශේෂ පහුණුව ලැබූ වෛද්‍යවරු. අවශ්‍ය උපකරණත් රෝහලේ තියෙනවා. ඉඩකඩ නැතිවීම නම් බරපතළ තත්ත්වයක්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වීමට එක්වුණා හෘද විශේෂඥ නේවාසික වෛද්‍යවරුන් දෙදෙනෙක් වන චන්ද්‍රික පොන්නම්පෙරුම සහ සම්පත් විතානවසම් යන වෛද්‍යවරුන්. ඔවුන් දැක්වූවේ සමාන අදහසක්.

හෘද රෝගි ලිස්ට් එක අඩු වෙන්නේ ඔවුන්ට ප්‍රතිකාර ලැබෙන නිසා නෙවෙයි. ලිස්ට් එකේ සිටියදී ඔවුන් මියයන නිසයි.

මෙහි පැය දාසයක් ලැබ් වහලා පැය අටක් වැඩ කරන්න සිදුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවශ්‍ය සැත්කම් උපාංග අමාත්‍යාංශය මගින් ලබාදීමේ ක්‍රියාවලියේදී විශාල මුදල් නාස්තියක් සිදුවෙනවා.

බොහෝවිට සැත්කම් උපාංග ස්ටොක් එකවර ලබාදීම ඉල්ලු‍මට සැපයුම සිදුවනවා නොවේ.

සමහර වෙලාවට අපට අවශ්‍ය ස්ටෙන්ත් එක මිලි මීටර් 40 වුනොත් එය ස්ටෝස්වල නැත්නම් එය පියවන්න මිලි මීටර් විස්සෙ ස්ටෙන්ත් දෙකක් දාන්න වු‍නොත් එතකොට රජයට දරන්න වන පිරිවැය වගේම රෝගියාට ඇතිවන සංකූලතා වැඩී.

නමුත් එදිනෙදා ඇතිවන අවශ්‍යතා අනුව සැපයුම සිදුවෙනවා නම් අනවශ්‍ය බඩු ගොඩ ගැහීම වගේම ඒවායේ කල් ඉකුත්වීම වැනි නාස්තියක් සිදුවන්නේ නෑ. මේ ගැන විධිමත් යෝජනාවලියක් අප සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත්කර තිබෙනවා. ගොඩනැගිලි වගේම මේවා ගැනත් අවධානය යොමු වෙනවා නම් හොඳයි.

මේ පවතින්නා වූ ගැටලු‍ සඳහා විසඳුම් ලැබී තිබෙනවාද? ඉදිරි පියවර පිළිඹඳව සැලසුම් සකස් වන්නේ කොහොමද? අප විමසා සිටියා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගෙන්.

‘‘ලංකාවේ වැඩිම රෝගීන් ගණනක් මිය යන්නේ හෘද රෝගයෙන්. මානසික ආතතිය, අක්‍රමවත් ආහාර රටාව, ව්‍යායාම නොමැතිකම, රෝගයට ප්‍රතිකාර ප්‍රමාදය වගේම රෝගය වළක්වා ගැනීමට උත්සහා නොකිරීම ඊට හේතුවයි.

ජාතික රෝහල් හෘද චිකිත්සක ඒකකයට මේ තරම් දිග ලිස්ට් එකක් වැටෙන්න තවත් හේතුවක් තමයි ලංකාවේ අනෙකුත් රෝහල්වල ස්ටෙන්ත් දැමීම සහ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ පහසුකම් නොමැතිවීම. එ් වගේ තමන්ගේ පළාතේ රෝහලෙන් ප්‍රතිකාර ගන්න රෝගීන් දක්වන මැළිකම.

ගාල්ල, මහනුවර, රෝහල්වල වගේ ප්‍රධාන රෝහල්වල Cath Lab ඇතිකර අන්ජියෝග්‍රෑම් (angiogram) සහ ස්ටෙන්ත් (Stent) දැමීම් වගේ පහසුකම් ඇති කිරීම තුළින් මේ තදබදය තවත් අවම කරගෙන රෝගීන් සුවපත් කළ හැකියි.

කොහොම වුණත් වර්තමාන තත්ත්වය ගත්තොත් ලංකාවේ වටෙන්ම හෘද රෝගීන් ජාතික රෝහලට එනකොට මෙහි ඇතිවන තදබදය අඩුකිරීම පහසු කාර්යයක් නෙවෙයි. අපගේ හෘද ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරු පහක්, හෘද ශල්‍ය වෛද්‍යවරු පහක් සහ ඔවුන් යටතේද හෘද විශේෂඥ නේවාසික වෛද්‍යවරුද පහ බැගින් අප යොදවා ඉන්නවා.

මං හිතන්නේ සතියකට ස්ටෙන්ත් (Stent) දැමීම් එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සහ හෘද සැත්කම් දෙසියක් පමණ මෙහි සිදු කරනවා. මං හිතන්නේ මේ ස්ටෙන්ත් (Stent) සඳහා රජය දරන වියදම අති විශාලයි.

අපට මේ කරන සේවාව තවත් පුළුල්ව පවත්වාගෙන යන්න නම් නව ගොඩනැගිල්ලක් මෙහි ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍යයි.

හදිසි රෝගියෙකුට එන්ජියෝග්‍රෑම් පරික්ෂාවක් කරන්න ස්ටෙන්ත් (Stent) එකක් දාන්න මෙහි පහසුකම් තියෙනවා. නමුත් හෘද රෝග අංශයේ සැත්තම් කිරීමට ගොඩනැගිල්ලේ ඇති ශල්‍යාගාර ඉඩ කඩ මදිකම නිසා පොරොත්තු ලයිස්තුව දිග එකක් වෙලා තියෙනවා.

ලක්ෂ ගාණක් රෝගීන් සායන වලට වාර්තා වුණාට ඇඳන් තියෙන්නේ එකසිය තිහයි. ශල්‍යාගාර පවතින්නේ හතරයි. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් cath lab හයක් ශල්‍යාගාර 9 අයි.සී.යු. ඇඳන් 75 සහ විශේෂ ප්‍රතිකාර ඇඳන් තිස් පහක පහසුකම් සහිතව ඇඳන් හයසීයක් රැඳවිය හැකි මහල් දහතුනක ගොඩනැගිලි සැලසුමක් අප යෝජනා කර තිබෙනවා.

රාජ්‍ය සැලසුම් දෙපාර්තමේත්තුව හා එක්වයි මේ සැලසුම් සකස් කෙරුණේ. වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව ඉන්න කාලේ පවා මේ කාර්යයට විශාල උනන්දුවක් දැක්වූවා.

පසුගිය දිනෙක වත්මන් ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා බාහිර රෝගී අංශයටත් පැමිණියා. නව ගොඩනැගිල්ලේ යෝජනාවලියට මුදල් ප්‍රතිපාදන වෙන් වූ වහාම අප එහි ඉදිකිරීම් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

මෙම හෘදරෝග අංශය ගුණාත්මක භාවය වැඩි කිරීමට නම් ප්‍රමාණත්මක විය යුතුයි.’’

අප මීළඟට සම්බන්ධ කර ගත්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව. මේ හෘද රෝගීන් මුහුණපාන ගැටලු‍ වලට විසඳුමක් නැතිද? ඒ වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද? අප විමසා සිටියා ඒ මහතාගෙන්.

ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට අප සෑම පියවරක්ම ගත්තත් ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් කළමනාකරණය කරමින් කටයුතු කිරීම සංකීර්ණ කටයුත්තක්.
ඇත්තටම හෘද චිකිත්සක ඒකකය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිවිය යුතුයි කියන තැනට අපගේ මෙන්ම රජයේ අවධානය යොමු වුණේ 2014 වර්ෂයේ.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අාරක්ෂක ලේකම්ව සිටි කාලයේ ආරම්භ කළ ව්‍යාපෘතියක්. ආණ්ඩු පෙරලියත් සමග නැවතුනා.

2014 වර්ෂයේ වත්මන් ජනපතිතුමා කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සංවර්ධන ක්‍රියාවලියෙදී අද රෝහල් චතුරශ්‍රය ලෙස ඔබ දකින කලාපය ජාතික සෞඛ්‍ය චතුරශ්‍රය ලෙස නම් කිරීමටත් සැලසුම් කෙරුණා.

එකී කලාපයේ ජාතික රෝහල, ලේ බැංකුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශ, මෙඩිකල් ෆැකල්ටිය, ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය, රසායනාගාර පහසුකම් වැනි ආයතන සමග හෘද චිකිත්සක ගොඩනැගිල්ලත් ඉදිකිරීමට සැලසුම් කර තිබුණා.

ඒ අනුව ඔය හෘද රෝග අංශය පවත්වාගෙන යන පැරණි ගොඩනැගිල්ල පිටිපස අනවසර පදිංචිකරුවන් වෙනත් මහල් නිවාස සංකීර්ණයකට යොමු කරලා පර්චස් 75 භූමිය නිදහස් කරගත්තා. ඔහුගේ සැලසුමට අනුව ජාතික රෝහල වෙත, මරදාන, කොළඹ යන දම්රිය ස්ථානයන් වෙතින් එන දුර බැහැර රෝගීන්ට පහසුවෙන් රෝහලට ළඟා වියහැකි විනාඩි 30කට වරක් ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවාවකුත් අරඹන්න සැලසුම් වුණා.

වත්මන් ජනපතිතුමා පසුගියදාක ජාතික රෝහල් නිරීක්ෂණයට පැමිණි වෙලාවේ නැවතුන සැලසුම් නැවත අරඹන්න නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සාකච්ඡා ඇරඹී තිබෙනවා. ඉතින් එදා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ ආණ්ඩු පෙරළිය සමග නැවතුණ තැනින් සියලු‍ කටයුතු ඇරඹේවි කියා මා විශ්වාස කරනවා.
ඉදිරියේ එළඹෙන මහ මැතිවරණයට පෙර ඇමතිවරුනි ඔබේ ඡන්ද පත්‍රිකාද රැගෙන කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සා අංශයටත් රාත්‍රි අටට පමණ පැමිණෙන්න.
එවිට ඔබට ඡන්දය ලබාදීමට දෙපසට බෙදී කුලල් කෑ ඔබට ආදරය කළ ජනතාව හිටගෙන නිදියන, අයුරු වාඩි වී පවන් ගසන අයුරු, මරණය සමග පොර බදන අයුරු, ඇතැමුන් ජීවිතයෙන් සමුගන්නා අයුරු ඔබට දැකගත හැකිවනු ඇත.

හෘද සායන සඳහා පැමිණෙන දහසකට අධික ජනතාවට යෑමට ඇති වැසිකිළි දෙකද ඔබට දැකගත හැකිවෙනු ඇත.

එසේ කොළඹ ජාතික රෝහල් හෘද චිකිත්සා අංශයට යන ඔබ, මැතිවරණ කාලෙට වේදිකාවල ජනතා කැක්කුමෙන් මර ළතෝනි දෙන තරමටම, හිතක් පපුවක් ඇති දේශපාලනඥයෙකුනම් මේ රටේ දුප්පත් අහිංසක ජනතාව විඳින දුක දැකීමෙන් හාර්ට් ඇටෑක් හැදී මැරී වැටෙන්නටද ඉඩ ඇත.

ඉරිදා ලංකාදීප – රේඛා තරංගනී ෆොන්සේකා

ප්‍රතිචාරයක් ලබාදෙන්න