නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම පිළිබඳ දැඩි කතා බහක් ඇති වු පසුබිමක ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඩ් විදෙස් මාධ්‍යකට අද (24) සඳහන් කර තිබුණේ 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළ බවයි.

ඒ අනුව වසරකින් මෙම තරගාවලිය කල් දැමූ බව එම කමිටු සාමාජිකයා සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව පුරා සීග්‍රෙයන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිය රැසක් මේ වන විටත් අවලංගු කර තිබියදී 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල්දමන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත්වී තිබුණි.

එවන් පසුබිමක තරගය කල්දැමීමට ඉඩ ඇති බව ජපාන අගමැති ෂින්සෝ අබේ ඊයේ නීති සම්පාදකයින් හමුවේ සඳහන් කළ අතර පසුගියදා රැස් වු ජාත්‍යන්තර ඔලිම්පික් විධායක කමිටුවද සඳහන් කර තිබුණේ තරගාවලිය කල්දැමීම සම්බන්ධයෙන් වන තීරණය සති 4ක් ඇතුළත ගන්නා බවයි.

ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ඩික් පවුන්ඩ් අද විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තොරතුරු මත සහ තරගාවලිය කල් දැමීම පිළිබඳ විවිධ පාර්ශව රැසකින් කළ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවයි එම කමිටු සාමාජිකයා විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුනේ.

ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරක කාලයක් සඳහන් කල් දැමීමට තීරණය කළ බවත් බොහෝ විට එය 2021 වසරේදී පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඩ් සඳහන් කර තිබේ.

මේ වසරේ ජුලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා කැනඩාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොකර බව කැනේඩියානු ඔලිම්පික් කමිටුව, කැනේඩියානු පැරා ඔලිම්පික් කමිටුව, ඔවුන්ගේ මලල ක්‍රීඩා සංගමය සහ කැනේඩියානු රජය ඊයේ තීරණය කළේය

එමෙන්ම නව කොරෝනා වෛරසයෙන් ආසාදිතයින් 1629ක් සහ මරණ 7ක් වාර්තා වන ඔස්ට්‍රේලියාවේ ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම් දී තිබෙන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 දක්වා කල් යන බවත් ඒ හේතුවෙන් 2021ක ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සුදානම් වන ලෙසටයි.

මේ අතර ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයාද 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දමන ලෙසට මීට පෙර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටවෛන් ඉල්ලීම් කළ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීම සම්බන්ධයෙන් වු තීරණය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද ඩික් පවුන්ඩ් විදෙස් මාධ්‍ය සමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න