කොරෝනා වෛරසය උත්සන්න වී තිබුණ ද ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නියමිත දිනවලදී පවත්වන බව රටවල් දෙකම ඊයේ (13දා* දහවල් වන විට තීරණය කර තිබුණත් හදිසියේ ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම තරග දෙක දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

එංගලන්ත කණ්ඩායම ලෝක ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමට ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් ඊයේ සිය දෙවැනි පුහුණු තරගයේ දෙවැනි දිනට ක‍්‍රීඩා කරමින් සිටියදී තේ පානයෙන් අනතුරුව එම තරගය අතහැර දැමීමට තීරණය කරන ලදී. කෙසේ වෙතත් එංගලන්ත අග‍්‍රාමාත්‍යවරිය වන බොරිස් ජොන්සන් පවසන්නේ ක‍්‍රීඩා තහනම් නොකරද ඉදිරියේදී එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සලකා බලමින් සිටින බවයි. ඒ අනුව ක‍්‍රීඩා කිරීමෙන් වැළකී සිටීමටද ඊයේ එංගලන්තය හදිසියේම තීරණය කරන ලද්දේ අග‍්‍රාමාත්‍යවරියගේ ප‍්‍රකාශයෙන් පැය 24 ක් යෑමට මත්තෙනි.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිතරම එංගලන්තය සමග සම්බන්ධතා පවත්වමින් සිටින අතර දෙරට දැන් පැවැත්වෙන පුහුණු තරගයේදී අතට අත නොදී ක‍්‍රීඩා කිරීමට එංගලන්තය තීරණය කර තිබුණි. ඒ වෙනුවට අත මිට මොළවා තට්ටුවක් දැමීමට එංගලන්තය ක‍්‍රියා කරනු ලබන්නේ කොරෝනා වෛරසයෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙසිනි. පුහුණු තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී ද ශ‍්‍රී ලංකා සභාපතිගේ නායකයාට අලූත් ක‍්‍රමයට ආචාර කිරීමට එංගලන්ත නායක ජෝ රූට් ක‍්‍රියා කළ ආකාරය කාගෙත් අවධානයට ලක් විය.

වත්මන් තත්ත්වය අනුව කොරෝනා රෝගීන් දෙදෙනකු ශ‍්‍රී ලංකාවේ සිටින බව තහවුරු කරගෙන තිබීම සහ එය ඉදිරියේදී ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් එංගලන්ත පිල නිරන්තරයෙන්ම ශ‍්‍රී ලංකාව සහ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ වෙමින් තරගාවලියට සහභාගි වීමට තීරණය කළ බව මීට පැය 24 කට පෙර එංගලන්ත ක‍්‍රිකට් ආයතනය තීරණය කළ ද හදිසියේ ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් තරගාවලිය කල් දමන ලදී.

එංගලන්ත කි‍්‍රකට් ආයතනය පවසන්නේ, ‘‘මෙම අවස්ථාවේදී තරගාවලිය දිගටම පවත්වාගෙන යන්න සැලසුම් කර තිබෙනවා. නමුත් මේ රෝගය ඉතා දියුණු වෙමින් පවතින තත්ත්වයක් තියෙනවා. එය වේගයෙන් වෙනස් වන අතර සමහර විට දිනකට කිහිප වතාවක් වෙනස් වීමටත් පුළුවන්’’ යනුවෙනි. නමුත් ඊට පැය කිහිපයකට පසුව ඔවුන් තම කණ්ඩායම ගෙන්වා ගන්නා බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පවසා තිබේ. ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ පාසල් වසා දැමීම අනුව එම තීරණය එංගලන්ත ක‍්‍රිකට් ආයතනය විසින් ගනු ඇතැයි විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

අදාළ වෛරසය හේතුවෙන් ලෝක ක‍්‍රීඩා දින දර්ශනයම අවුල් ජාලාවකට පත්ව ඇති අතර මේ වන විට ක‍්‍රීඩා තරගාවලි සිය ගණනක් කල් දමා තිබේ. එංගලන්ත ප‍්‍රාන්ත හතරක් මේ වන විට ඔවුන්ගේ සියලූ සංචාර අවලංගු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එංගලන්ත පිල තරගාවලිය කල් දැමීමට තීරණය කරන විට පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පුහුණු තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් ලකුණු 463 ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 150 ක් තරගාවලිය අතහැර දමන විට ලබා සිටියේය.
-අසේල විතාන

ප්‍රතිචාරයක් ලබාදෙන්න