ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට සූදානම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයා විසින් එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් රැසක්ද හමුවීමට නියමිත බවත් අමාත්‍යංශය පවසයි.

එමෙන්ම හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්ව ඇත.

තවද මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තැබීමද අපේක්ෂා කරන අතර ව්‍යාපාරික ප්‍රජාව සමගද එක්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් එහි සඳහන්ව තිබේ.

මෙම වසර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සපිරෙන බැවින් වියට්නාම සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයිද මෙම සංචාරය මගින් අපේක්ෂා කරනු ඇත.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments