සජබය අර්බුදයක සංවිධායකවරු රැසක් පෝලිමේ ඉල්ලා අස්වෙයි

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 

පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදි මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබේ.

සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ අතර එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතයින් පත්කර ගැනීමේ ගැටළුකාරී තත්ත්වය දැකිය හැකි අතර ඒ අනුව මෙම සංවිධායකවරු සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මේ වන විට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය ඔඩු දුවමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරු රැසක් පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කළකිරීමට පත්ව ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව ඔවුන්ද ඉදිරියේදී සිය සංවිධායක ධුර සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයිද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන නියෝජිතයින් පත්කර ගැනීමේදී මතුව ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (25) දිනයේදී පැවසුවේ පක්ෂයේ ඇති නීතිරීති අනුව සියලු දෙනා කටයුතු කළ යුතුව ඇති බවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments