බෞද්ධ හා කතෝලික නායකයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ, ශාරීරික දඬුවම් සම්බන්ධ නීති සංශෝධනය කිරීමෙන් රජය පසුබසින බව පෙනී යන අතර, රට තුළ LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය දැක්වූ සහයෝගයෙන් ද එය ඉවත් වෙමින් පවතින බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම සංචාරක අමාත්‍යවරයා ද වන විජිත හේරත් සමඟින් අමෙරිකා එක්සත් ජනපදයේ හා ජපානයේ සංචාරයක නිරතව සිටි සතියේ මෙම කරුණු දෙකම උග්‍ර තත්ත්වයකට පත් විය.
නිකායත්‍රයේ මහානායක ස්වාමීන් වහන්සේලා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ අහිතකර බලපෑම්වලට එරෙහිව දැඩි ලෙස හඬ නැඟූහ.
සිකුරාදා දින මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දුටු ජනාධිපතිවරයා, රටේ සංචාරක ප්‍රවර්ධන සැලැස්ම එහි ඇති පොහොසත් සංස්කෘතික උරුමය, ස්වභාවික අරුමයන් සහ ආගන්තුක සත්කාරයට ලැදි ජනතාව ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා වන බවට නැවත වරක් සහතික විය.
දණ්ඩ නීති සංග්‍රහයට කරන සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇති නමුත් සම්මත කර නොමැති බැවින් තවදුරටත් සංශෝධන සඳහා ඉඩකඩ ඇති බවයි.
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 24 වැනි දින විවාදයට ගත් අතර, එහි විවාදය තවත් දිනක් සඳහා කල් තබන ලදී.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ද සහතික වූයේ, ශාරීරික දඬුවම් සම්බන්ධ නව නීතිය ගුරුවරුන්ගේ හෝ දෙමාපියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන බවත්, එය අරමුණු කර ඇත්තේ අපයෝජනයන්ට මුහුණ දෙන දරුවන් ආරක්ෂා කිරීම පමණක් බවත් ය.
මේ අතර, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති සංචාරක නායකත්ව සමුළුවේදී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට හෝ සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය පහත හෙළීමට රජයට කිසිදු අදහසක් නොමැති බවයි.
“LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන අතර, අප කිසිදු විශේෂිත සංචාරක කණ්ඩායමකට වෙනස්කම් නොකරමු. අපි ඔවුන් සියල්ලන්ටම සමාන ලෙස සලකනවා,” යැයි ඔහු පැවසීය.
ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය මගින් සමලිංගික සබඳතා තහනම් කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති ඇතුළු වෙනස්කම් කරන්නා වූ නීති සංශෝධනය කිරීමටත්, LGBTQ+ ප්‍රජාවන් සඳහා සෞඛ්‍ය සේවා, නීතිමය සහාය, සමාජ ආරක්ෂණය සහ යුක්තිය වැනි රාජ්‍ය සේවාවන්ට ප්‍රවේශය වැඩි කිරීමටත් ප්‍රතිඥා දී තිබුණි.
C news

