ආරක්ෂාව සහ බලශක්තිය පිළිබඳ ජනපති සහ කටාර්හි එමීර් අතර සාකච්ඡාවක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි බලපෑම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් Sheikh Tamim bin Hamad Al Thani මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (18) රාත්‍රියේ සිදු විය.

මෙහිදී ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටි අතර, විශේෂයෙන්ම එරට වෙසෙන 150,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. පවතින කලාපීය වර්ධනයන් හමුවේ ශ්‍රී ලංකාවේ සහයෝගය කටාර් රාජ්‍යයට හිමිවන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහි පවතින තත්ත්වය පැහැදිලි කළ කටාර් එමීර්වරයා ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට වෙසෙන සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සලසන බවට ජනාධිපතිවරයා වෙත සහතික වූයේය.

නායකයන් දෙපළගේ අවධානය හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන මුහුදු මාර්ගවලට එල්ල වී ඇති අවදානම කෙරෙහි ද යොමු වූ අතර, එමගින් ගෝලීය සැපයුම් දාමයන්ට සහ බලශක්ති වෙළෙඳපොළට එල්ල විය හැකි බාධා පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. ඉහළ යන බලශක්ති පිරිවැය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට එල්ල වන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය තුළ කටාර් රාජ්‍යය සෑමවිටම විශ්වාසදායක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළ කටාර් එමීර්වරයා අභියෝග මධ්‍යයේ වුවද බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට කැපවන බවද කියා සිටියේය.

කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයන් කඩිනමින් සමනය කළ යුතු බවත්, යුදමය ක්‍රියාමාර්ග වෙනුවට කලාපීය සාකච්ඡා මගින් රාජ්‍යතාන්ත්‍රික විසඳුම් ළඟා කර ගත යුතු බවත් නායකයන් දෙපළ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments