ඇමරිකා තීරු බද්දෙන් වන පාඩුව අනෙක් රටවලින් අල්ලනවා

අමෙරිකන් වෙළෙඳපොළ තීරු බදු ඉහළ දැමීම හේතුවෙන් ලංකා අපනයන ආදායම් පරතරයට සිදුවන පාඩුව ඉතිරි රටවල වෙළෙඳපොල හරහා පියවා ගැනීමට සැලසුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසීය.

ආසියානු කලාපය, අප්‍රිකානු රටවල් සහ මැදපෙරදිග රටවල ලංකා භාණ්ඩවලට ලොකු ඉල්ලුමක් තිබෙන බව ඔහු කීය.

ඒ අනුව, එම රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යෑමට අදාළ යෝජනා අපනයන සංවර්ධන මණ්ඩලය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් බව සභාපතිවරයා පැවැසුවේය.

එම නිදහස් වෙළෙඳ ගිවිසුම්වලදී තීරු බදු ගිවිසුම් කිහිපයකට යා යුතු බවට යෝජනා රජයට ඉදිරිපත් කළ බව ඔහු කීවේය.

ඒ සම්බන්ධයෙන් අපි හඳුනාගත් රටවල් සමග අප්‍රේල් හා මැයි මාස ඇතුළත ගිවිසුම්වලට යා යුතු බව ත් පවතින ගැටලුවලට විසඳුම් කිහිපයක් ලබා ගනිමින් සිටින බව ත් ඒ මහතා කීවේය.

එසේ ම එක් එක් නිෂ්පාදන භාණ්ඩවලට පවතින ඉල්ලුම පාවිච්චි කර යුරෝපා සංගමයේ රටවල් ඉලක්ක කරගෙන තීරු බදු ගිවිසුම් සඳහා යා යුතු බවට රජයට යෝජනා කළ බවත් ඔහු කීය.

අමෙරිකන් තීරු බදු ප්‍රශ්නයත් සමග ලෝකය නොහිතන වෙනත් දිශාවකට යොමුවෙන බව ත් එහිදී ශ්‍රී ලංකාවට මෙතෙක් නොතිබූ වාසියක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇති බව ත් ඔහු කීය.

සභාපතිවරයා වැඩිදුරට ත් මෙසේ ද කීය.

“එක්සත් රාජධානියේ වෙළෙඳපොළ ඩොලර් බිලියන 977ක වෙළෙඳපොළක්. අපි ඒකෙන් අපනයන කරන්නෙ බිලියන එකකට අදාළ ප්‍රමාණයක්. අපි තවත් වෙළෙඳපොළ අවස්ථා සොයාගත යුතුයි. කාබනික ආහාර අපනයනයෙන් අපට මිලියන 500ක ආදායමක් පමණයි දැනට. හැබැයි මේ වෙළෙඳපොළ ලෝකයේ බිලියන 140 වෙළෙඳපොළක්. අපේ රටේ උපරිම ප්‍රයෝජන ගත හැකි පැති තියෙනවා. කුඹුරු තියෙනවා. අපේ ඉඩම් තියෙනවා, ශ්‍රමය තියෙනවා. අපිට කාබනික ආහාර යැව්වොත් යම්කිසි දෙයක් ළඟා කර ගන්න පුළුවන්. ජාතියක් වශයෙන් මේ ප්‍රශ්නය එක්ක වෙන විදිහකට වෙන ගමනක් යා යුතුයි”

– මව්බිම

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments