උණුසුම් කාලගුණය හමුවේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිළිමත් වන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් සිය සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගත යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇති කරමින් පවතින බවත් මෙම තත්ත්තවය කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට මෙන්ම දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන පිරිස් වෙත වැඩි බලපෑම් එල්ල කරනු ඇති බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මේ තත්ත්වය හමුවේ දීර්ඝ කාලීනව උෂ්ණත්වයට නිරාවරණය වීම හේතුවෙන් ශරීරයේ ජලය ඉවත්ව යා හැකි බවත් උෂ්ණතා ආබාධ සහ උෂ්ණ ආඝාත තත්ත්වයන් ඇති විය හැකි බවත් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් සිය ශරීර සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම්දීමක්ද සිදු කළේය.

එහිදී විශේෂයෙන් දහවල් කාලය තුළ එනම් පෙරවරු 10ත් හවස 03ත් අතර කාලය තුළ හැකිතරම් හිරු එළියට නිරාවරණය නොවීම වැදගත් බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ බාහිර පරිසරයක වැඩකටයුතු සිදුකරන්නේ නම් සහ බාහිර පරිසරයකට ගමන් කරන්නේ නම් හිස් වැසුම් පැළඳීම සහ අව් කණ්නාඩි පැළඳීමද වැදගත් වනු ඇති බවය.

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ දැඩි උණුසුම් කාලගුණය තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කිරීමේදී මේ දිනවල පළඳින ඇඳුම් පැළඳුම් සම්බන්ධවද සැලකිලිමත් විය යුතු බවත් ඒ මහතා පැවසුවේ එහිදී සුදු පැහැති හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම මෙන්ම ඇඟට හිර ඇඳුම් ඇඳීම නොකළ යුතු බවත්ය.

එමෙන්ම විජලනයෙන් ආරක්ෂා වීම සඳහා පිපාසය පැවතියත් නැතත් ජලය පානය කිරීමද අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අනිල් ජාසිංහ මහතා පැවසුවේ කුඩා ළමුන් සහ වැඩිහිටියන් සිසිල් ස්ථානයක නිරන්තර සිටීමද වැදගත් වනු ඇති බවත්ය.

තවද නිරාවරණය වූ ස්ථානයක සිටියදි ක්ලාන්තය, මහන්සිය සහ අධික දහඩිය දැමීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බවත් එහිදී සිසිල් වියලි ස්ථානයකට ගමන් කිරීම සිදුකළ යුතු අතර එහිදීද මෙම තත්ත්වය දිගටම පවතින්නේ නම් වහාම රෝහලකට හෝ වෛද්‍යවරයෙකු වෙත යෑම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments