කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය  කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් ඊයේ (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා රජයේ අමාත්‍යාංශ විධායක නිලධාරීහු එක්ව සිටියහ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.

රාජ්‍ය සේවය ඩිජිටල් පරිවර්තනයකට සූදානම් විය යුතු බවත්, ඒ සඳහා දැනට පවතින රාජ්‍ය සේවය වෙනස් විය යුතු බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය. රාජ්‍ය සේවය කෙරෙහි ජනතා විශ්වාසය දිනා ගැනීමේ අභියෝගය ජය ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අවධානය යොමු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය. 

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ, සමිස අබේසිංහ යන මහත්වරු ඇතුළු එම ආයතනයේ නිලධාරීහු මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක යන මහත්වරුද, රජයේ සියලුම කොමිෂන් සභා නියෝජනය කරමින් නිලධාරීහුද, බස්නාහිර පළාත් සභාව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments