ජනාධිපති අරමුදලේ සියලු සේවා Online ක්‍රමයට

ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජූනි මස 21 වන දා සිට ආරම්භ කිරීමට නියමිත ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.

ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ඇරඹිණි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවා ද මේ අයුරින් විමධ්‍යගත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ය.

ඒ අනූව, දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහ ජනතාවට දිවයිනේ ඕනෑ ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමේ හැකියාව ලැබේ.‍

මෙම වැඩසටහනත් සමග වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑ ම තැනක සිට අයැදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වෙයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීමටද බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

තවද, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩ ද මෙමගින් සීමා වන බව එම මාධ්‍ය අංශය පැවසීය.

Anjali Withanage

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments