ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පති සංගම්වල විරෝධය

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි.

ඔවුන් පවසන්නේ රාජ්‍ය නිලධාරීන් බිලිදීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව විදුහල්පතිවරු එළැඹෙන ජුනි 15 වැනිදායින් පසු වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බවය.

ඩෙංගු රෝගය මේ වන විට ක්‍රමයෙන් උත්සන්න වී ඇත්තේ රට පුරා දැඩි අවදානමක් මතුකරමින්ය.

පාසල් දරුවන් රැසක් ද ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයට මේ වනවිට ගොදුරුවෙමින් සිටින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

පාසල්වලින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුවද ගතහැකි බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරන්නේ ද මෙවන් පසුබිමකය.

නමුත් එම චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළකරයි.

2025 වසරේ අද දිනය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් විසිපන්දහස් පනස් පස්දෙනෙකු වාර්තාවී ඇති අතර සිදුව ඇති මරණ ගණන 13කි.

වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දැඩි අවධානමක ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කද ඩෙංගු  ව්‍යාප්තියේ වැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර නුවරඑළිය බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සේවයේ නියුතු කම්කරුවන් හය දෙනෙකුට සතියක් ඇතුළත චිකුන්ගුන්යා රෝගය වැළඳීම හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් සහ පොදු ස්ථාන තුළ මදුරු මර්දන විශේෂ මෙහෙයුමක් අද සිදු කෙරුණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments