දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවී තිබුණි.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළය.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටි කාලයේ ඔහුට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවය.

කෙසේවෙතත් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සලකාබලන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments