නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීමේ නිලවරණය අදයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) දින සිදුකිරීමට නියමිතව ඇත.

ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද ප.ව. 2ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙවර මෙම තනතුර වෙනුවෙන් 7 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතව ඇත.

ඒ වත්මන් වැඩබලන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල, කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන අයයි.

එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ, එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණී කළුහෙන්ඩිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතරමහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන, විශ්‍රාමික හමුදා කර්නල් නන්ද මඩුගල්ලේ යන මහත්වරුද මේ සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එසේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මහා සංඝරත්නයේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

විහාර සහ දේවාලගම් ආඥා පනතට අනුව දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය වසර 10ක් වන බැවින් අද දිනයේ පත්වන දියවඩන නිලමේවරයාට ඒ අනුව 2035 දක්වා සේවය කිරීමට හැකියාව පවතී.

උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ දා පටන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස පුද්ගලයන් 19 දෙනෙකු සේවය කර තිබෙන බව වාර්තා වේ.

මධ්‍යම පළාත් බෞද්ධ කටයුතු පිළිබද නියෝජ්‍ය කොමසාරිස් අනුරුද්ධ බන්ඩාර මහතා විසින් දියවඩන නිලමේවරයා පත්කර ගැනීම සම්බන්දයෙන් පැහැදිලි කළේ,

“රැස්වීමේදී නාමයෝජනා එකකට වැඩි ප්‍රමාණයක් ලැබුණහොත් ඒ අය අතරින් සුදුස්සෙක් තෝරාගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙනවා. පනතට අනුව වයස අවුරුදු 18ට වැඩි 70ට අඩු සිංහල බෞද්ධ පිරිමි අයෙක් විය යුතුයි. එමෙන්ම ඔහු උසාවියේ වැරදිකරුවෙකු නොවිය යුතුය” යනුවෙන්.

Gagana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments