නව පොලිස්පති වැඩ භාරගනී

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

ඒ පොලිස් මූලස්ථානයේ දීය.

මෙහිදී සභාව අමතමින් නව පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා පෞඩත්වය රැක ගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තමාව පොලිස්පති ධුරයට පත්කළ සියලුදෙනාට ස්තූතිය පළ කරන බවත් කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කරනු ලැබීය.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ භාරදුනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලැබී තිබුණි. 

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වුණි.

මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත්වූ පළමු පොලිස්පතිවරයා වන්නේද නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments