මාගරින් බදු අඩු කළොත් කේක් කිලෝව රු.200කින් බහී

ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු ඉවත් කරන්නේනම් හෝ දේශීය මාගරින් මිල අඩු කරන්නේනම් නත්තල් උත්සව සමයේ සිට කේක් කිලෝවක් රුපියල් දෙසීයකින් සහ බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීමට සූදානම් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

ආනයනික මාගරින් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 600ක බද්දක් පැනවීමත් සමග මාගරින් ආනයනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත් එය අවස්ථාවක් කරගනිමින් මෙරට පිහිටි ප්‍රධානතම මාගරින් නිෂ්පාදන සමාගමක් මගින් කිලෝ ග්‍රෑමයක් රුපියල් දහසක් වැනි අධික මිලකට අලෙවි කිරීම බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට විශාලතම බාධකය බවට පත්ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ආනයනික මාගරින් සඳහා බදු පැනවීමට පෙර තම කර්මාන්තය සඳහා ඉතා පහසු මිලට මාගරින් මිලදී ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් සභාපතිවරයා විදේශයන්හි මෙම මාගරින් කිලෝවක් රුපියල් 300 – 400ත් අතර මිලක පවතින බවද ඔහු පැවසීය.

ආනයනික මාගරින් සඳහා පනවා ඇති අධික බදු මුදල ඉවත් කිරීමට හෝ දේශීය මාගරින් මිල අඩු කිරීමට රජය පියවර ගතහොත් දැනට වෙළෙඳපොළේ රුපියල් 950 – 1000 අතර පවතින කේක් මිල රුපියල් 200 කින් සහ බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉතා පහසුවෙන් අඩු කිරීමට හැකියාව පවතින බව ඒ මහතා සඳහන් කළේය.

එබැවින් එළැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සිට පාරිභෝගික ජනතාවට කේක්, බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල අඩුකරදීම සඳහා මාගරින් මිල අඩුකිරීමට රජය අවශ්‍ය පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ටෙඩී ප්‍රනාන්දු – දිවුලපිටිය

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments