මාධ්‍ය සංවිධාන 21ක් මාධ්‍ය ඇමති හමුවෙයි

ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය ස්ථාපිත කිරී‍මේ මුලික කටයුතු සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම ප්‍රමුඛ වන බැවින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ඉදිරි අභිවෘද්ධිය මුලික අරමුණ කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා කර්තෘ සංසදය, විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමය, ශ්‍රී ලංකා පරිසර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මාධ්‍ය පැමිණිලි කොමිසම, ජාතික මාධ්‍ය පදනම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සන්ධානය, මුස්ලිම් මාධ්‍ය සන්ධානය, ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාකාරීත්වය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය, දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයෝ සහභාගී වූහ.

(අංජුල මහික වීරරත්න)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments