එළැඹෙන 23 වැනිදා මාලදිවයිනේදී ඇරැඹෙන දකුණු ආසියානු වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලිය සඳහා මෙරට සංචිතය තෝරා ගැනීමේදී කණ්ඩායමේ පුහුණුකරු වන අහමඩ් අල් මනායි වගකීම් විරහිත අයුරින් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර දක්ෂතා සහිත ක්‍රීඩකයන්ව නොසැලකිලිමත් අයුරින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ද දෙමාපියන්ගෙන් චෝදනා එල්ලවී ඇත.
ඉකුත් දිනක 20න් පහළ සංචිතය තෝරා ගැනීම සඳහා පැවැති ඇතැම් සැසි සඳහා අහමඩ් අල් මනායි පුහුණුකරු සහභාගි වී නොමැති අතරම ඔහු විසින් අදාළ තේරීම් කටයුතු ෆුට්සාල් කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රිඩීකාවක් හට පවරා තිබුණු බැව් වාර්තා වේ. පුහුණුකරු විසින් ක්‍රීඩකයන් හට දක්ෂතා ප්‍රදර්ශනය සඳහා නිසි අවස්ථාවක් ලබා නොදුන් බවට පැවසෙන අතරම ජාතික සංචිතයක් තෝරා ගැනීම වැනි කාර්යයක් වගකීම් විරහිත ලෙසින් ක්‍රීඩිකාවක් වෙත පැවරීම කුමන පදනමක් මත සිදු කෙරුණක් දැයි පාපන්දු ක්ෂේත්‍රයේ පිරිස් ප්‍රශ්න කරති. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පවා නියෝජනය කළ 20න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමේ හැකියාව සහිත ක්‍රීඩකයන් තෝරා ගැනීම් සඳහා කැඳවා නොමැති වීම ද විමතියට කරුණක්ව ඇත.
මේ අතර පුහුණුවීම් සඳහා කැඳවා තිබූ ඔස්ට්‍රේලියාවේ ‘ගෝල්ඩ් කෝස්ට් යුනයිටඩ්’ යොවුන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනු ලබන මෙන්ම, ඉකුත් 2024 වසරේ වයස අවුරුදු 17න් පහළ දකුණු ආසියානු තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලාංකික සම්භවය සහිත ප්‍රබල ක්‍රීඩකයකු සංචිතය සඳහා සුදුසුකම් නොලැබීම වීමතියට කරුණක්ව ඇත. එවැනි වෘත්තිය මට්ටමේ ක්‍රීඩකයකු ප්‍රතික්ෂේප කිරීම සඳහා කිසිදු ප්‍රායෝගික හේතුවක් ඉදිරිපත් නොකළ බවද, පුහුණුකරු ක්‍රීඩකයන් සමග වචනයක් හෝ හුවමාරු කර ගැනීමෙන් තොරව පිටව යාමෙන් අනතුරුව ඉහත සඳහන් කළ ෆුට්සාල් කණ්ඩායමේ ක්‍රීඩිකාව පැමිණ සංචිතයට සුදුසුකම් නොලැබූ බව ක්‍රීඩකයා වෙත දැන්වූ බව අදාළ ක්‍රීඩකයාගේ දෙමාපියෝ සඳහන් කරති.
මෙම අහමඩ් අල් මනායි පුහුණුකරු 2024 වසරේ පැවැති වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලානට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතරම තරග සියල්ල අන්ත ලෙස පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. එමෙන්ම ඉකුත් දිනවල පැවැති දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේද ඔහු ප්‍රධාන පුහුණුකාරීත්වය දැරූ අතර කාන්තා කණ්ඩායම එක් ජයග්‍රහණයක් පමණක් ලබද්දී, පිරිමි කණ්ඩායම කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් විය.
වසර ගණනාවක් මුළුල්ලේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 200න් පහළ සිටි ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ජයග්‍රහණ සඳහා යොමු කිරීමේ ප්‍රබල සාධකය ශ්‍රී ලාංකික සම්භවය සහිත විදෙස් ක්‍රීඩකයන් වූ පසුබිමක, අනාගතයේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් ගොඩනගන යොවුන් කණ්ඩායම් මෙවැනි වගකීම් විරහිත පුද්ගලයන් වෙත භාර කිරීම හමුවේ නැවත ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව අගාධයකට ඇද වැටීමේ අවධානමක් මතුව ඇතැයි ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දෙති. පරාජයන් පමණක් ලබන ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ සූදානමින් සිටින විදෙස් සම්භවයක් සහිත ප්‍රබල ක්‍රීඩකාවන් කිසිවකු මේ දක්වා කැඳවා නොමැති සේම විදෙස් සම්භවයක් සහිත යොවුන් ක්‍රීඩකයන් හමුවේ දක්වන නොසැළකිලිමත්කම හමුවේ මෙරට නියෝජනය කිරීමට හැකියාව ඇති ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි පැවසේ.
