ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට යන සාමයේ පාගමන අප්‍රේල් 22 දඹුල්ලෙන් ඇරැඹේ

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් සහ සැතපුම් 2300 ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’  නමින් පැවැත්වීමට නියමිත සාම පාගමන අප්‍රේල් 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කර ඇත.

ඒ බව මෙම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවිධායක, ටෙක්සාස් ගෝතම බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියෝ ‘දිවයින’ ට පැවසූහ.

මෙම ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මේ මස 21වන දා මෙරටට වැඩම කිරීමට නියමිත  බවත්, අප්‍රේල් 22වන දා සිට අප්‍රේල් 28 වන දා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස ඇමෙරිකාවට වැඩමකිරීනට නියමිත ජයශ්‍රී මහා බෝධි ශාඛාවක් පෙරටුව මෙම සාම පාගමනෙහි නිරත වනු ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

අප්‍රේල් 21වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මෙම සාම පාගමනේ කටයුතු ආරම්භ කෙරෙන අතර අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයද මෙම සාම පාගමනේ වැඩම කරවීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබා දීම සිදු කෙරේ.

අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන්  අනතුරුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල්  28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය. 

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.

අනතුරුව ශ්‍රී මහා බෝධි ශාඛාව සමග ඇමෙරිකාවට වැඩමකෙරෙන පූජනීය වස්තු එළඹෙන දෙවෙනිදා දක්වා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරේ.

21 වැනිදා අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට සැපත් වන බෞද්ධ දූත පිරිස එදින පෙරවරුවේ අත්තනගල්ල රාජ මහා විහරයට පැමිණ එම විහාරස්ථ නායක හිමියන්ගේ ආශිර්වාද ලබා, එහිදී ප්‍රවුර්ති සාකච්ඡාවකට එක්වී අත්තනගල්ල නායක හිමියන් විසින් පිරිනමන දහවල් සංඝගත දක්ෂිණාවට එක්වී එදිනම අනුරාධපුරය බලා පිටත්ව යාමට නියමිත බවද විමලකිත්ති හිමියෝ පවසති.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments