රුවේස් හනීෆා කොළඹ පුරපති පුටුවට?

සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ආචාර්ය, රුවේස් හනීෆා මහතා කොළඹ පුරපති ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පුරපති ධුරය සඳහා ආචාර්ය, රුවේස් හනීෆා මහතා තෝරා ගැනීමට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහාය හිමිවනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ම ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුවද, කොළඹ මහනගර සභාව, කොළොන්නාව සහ සීතාවකපුර නගර සභා මෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජන බලවේගය සඳහා හිමිවූයේ මන්ත්‍රී ධුර 48ක් පමණි.

එහෙත් අනෙක් මන්ත්‍රී ධුර සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් 3 සහ සර්වජන බලය යන පක්ෂ අතර බෙදී ගියේය.

ඔවුන් අතර බෙදී ගිය මන්ත්‍රී ධුර සංඛ්‍යාව 56කි.

මේ අතර අද පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්කර ගන්නා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා,

“මේ මැතිවරණයේදී විපක්ෂයේ සියලු පක්ෂ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගෙන තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට මහ මැතිවරණයේ තිබුණු ජනවරම මේකෙදි අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂය ලැබූ ජයග්‍රහණයක්. මාස 05කින් මේ රටට එපා වුණ ආණ්ඩුවක් විදිහට තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව අපි දකින්නේ. අපි පැහැදිලිව ආණ්ඩුවට පෙන්නවා ඉදිරියේදී මේ පළාත් පාලන ආයතන පිහිටුවද්දි විපක්ෂයේ කාණ්ඩයන් සියල්ල එක්තුකරලා පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් අපි පිහිටුවන්න යනවා”

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments