බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් වෙයි.අනතුර ගැන තවත් තොරතුරු එළියට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකරන අතරතුර අනතුර සිදුවී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා අරලගංවිල සහ පොළොන්නරුව රෝහල්වල ප්‍රතිකාර ලබයි.

අනතුරට පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් මෙම බෙල් 212 හෙලිකොප්ටර් යානය අද උදෑසන 6.44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වී තිබුණි.

ඒ, මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා හමුදා සාමාජිකයින් රැගෙන යාමටය.

ගුවන් හමුදාව පවසන්නේ උදෑසන 7:08 පමණ වනවිට මාදුරුඔය ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සාමාජිකයින් 6දෙනෙකු නංවා ගත් බවය.

ඒ අනුව යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 6දෙනෙක් සමග පුද්ගලයින් 12දෙනෙකු සිට තිබේ.

එහිදී යානයේ ඇතිවූ තත්ත්වයක් මත හදිසි ගොඩබෑමක් සිදුකර ඇති අතර එහිදී යානය මාදුරුඔය ජලාශයට පතිත වී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයින්, අනතුරට ලක්වූ පිරිස මුදාගැනීමට මෙහෙයුම් දියත් කර තිබුණි.

ගුවන් හමුදාව පැවසුවේ යානයේ සිටි 12දෙනාම මුදාගෙන අරලගංවිල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් 8 දෙනෙක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු බවය.

කෙසේවෙතත් ඉන් සෙබළුන් 06 දෙනෙකු පසුව ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව්දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පියවර ගෙන තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments