Ceylon Times

Challenging Ideology

2015 – 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ – පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි

2015 සිට 2024 ජනාධිපතිවරණය පැවැත්වූ දිනය දක්වා කාලයේදී මෙරට තුළ පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එම කාලය තුළ රුපියල් බිලියන 2,250.12 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුද්‍රණය සහ ටංකනය කර ඇති අතර, එහිදී නෝට්ටු රුපියල් බිලියන 2,24.85ක් සහ කාසි රුපියල් බිලියන 9.27 ක් ලෙස එම මුදල් මුද්‍රණය සහ ටංකනය කර තිබේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළේය.

ආර්ථිකයක් වර්ධනය වන විට, ආර්ථිකයට අවශ්‍ය මුදල් ප්‍රමාණයද වර්ධනය වන බවත්, එබැවින් පාලනයක් සහිතව මුදල් මුද්‍රණය සිදුකිරීම ආර්ථිකයකට හානිකර නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

නව මුදල් නිකුත් කිරීම ආර්ථිකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හැකියාවට අනුරූප විය යුතු බවත්, ආර්ථිකයේ සමස්ත නිෂ්පාදනයට අනුකූලව මුදල් ප්‍රමාණය වැඩි වන විට, එය අධික උද්ධමන පීඩනයක් ඇති නොකර තිරසාර ආර්ථික වර්ධනයකට සහය වන බවත් එම පිළිතුරේ සඳහන් වේ.

කෙසේ වෙතත් අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම අධික උද්ධමනකාරී පීඩනයක් ඇති කළ හැකි අතර, එය මැදි කාලීනව සහ දිගු කාලීනව ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපෑම් ඇති කරමින් ජනතාවගේ ආර්ථික යහපැවැත්ම අහිතකර තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *