පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර ඇතිවූ සංවාදයට අදාළව පරීක්‍ෂණ සිදු කිරීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමෙන් අනතුරුව විපක්‍ෂ මන්ත‍්‍රීන් විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය මෙසේය.
ගරු කථානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
2025-05-20 දින පාර්ලිමේන්තුවේදී මතු වූ තත්ත්වය පිළිබඳව වූ පැමිණිල්ල
2025-05-20 දින ස්ථාවර නියෝග 92 (2) අ වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මතුව ඇති තත්ත්වය පිළිබඳව ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට, ගරු කථානායකතුමාගේ අවසරය පරිදි කටයුතු කරන ලදී.
ඉන් පසුව නැගී සිටි ගරු කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීතුමිය ගරු කථානායකතුමා ලබා දුන් අවසරය අභියෝගයට ලක් කරමින් හා ස්ථාවර නියෝග අභියෝගයට ලක් කරමින් ප්‍රකාශයක් කරන ලදී. එය පැහැදිලිවම කථානායකවරයාගේ අභිමතය ප්‍රශ්න කිරීමකි.
එම අවස්ථාවේදී මෙම සංවාදයට එක් වූ සභානායක ගරු බිමල් රත්නායක මහතා විසින් ගරු දයාසිරි ජයසේකර මහතාට ආරෝපිත චෝදනා රැසක් එල්ල කරමින් ප්‍රකාශයක් සිදු කල අතර, එම ප්‍රකාශය තුළින් ස්ථාවර නියෝග 91 (ඌ) වගන්තිය උල්ලංඝනය කර ඇත.
එකී ප්‍රකාශය තුළ ජනාධිපති අරමුදලේ මුදල් වංචා කරන ලද අයෙකු ලෙසත්, දුප්පත් අහිංසක මිනිසුන්ගේ මුදල් සොරකම් කරන ලද අයෙකු ලෙස සිදු කරන ලද ප්‍රකාශය තුළින් ගරු දයාසිරි ජයසේකර මහතාගේ කීර්ති නාමයට බරපතල ලෙස හානියක් සිදු කර ඇත.
පාර්ලිමේන්තු සජීවී විකාශය තුළින් මෙම සිදුවීම විසුරුවා හල අතර, එයින් උපුටාගත් උද්ධෘතයන් සම්ප්‍රදායික මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබේ.
මෙහි ස්ථාවර නියෝග වලට පටහැනි සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට ඔබතුමා විසින් ලබා දුන් නියෝගය අරුත් සුන් නියෝගයක් බවට පත් කිරීමකි.
එමෙන්ම 10 වන පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම වත්මන් සභානායකතුමාගේ ක්‍රියා පිළිවෙත හා හැසිරීම පුරෝගාමී සභානායකවරුන්ගේ ආදර්ශ හා ක්‍රියාකාරකම්වලට සම්පුර්ණයෙන් පටහැනි තත්ත්වයකි.
එබැවින් 2025-05-20 දින පාර්ලිමේන්තුවේ ගරු සභානායකගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කරන මෙන් ඉල්ලා සිටිමි.
C news
