යට ඇඳුමේ සඟවාගෙන පිඹුරන් පිටමං කරන්න හැදූ ලාංකිකයා තායිලන්තයේ දී මාට්ටු

සර්පයින් තිදෙනෙකු නීතිවිරෝධීව රටින් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්ත ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගෙන තිබේ.

බැංකොක්හි සුවර්ණභූමි ගුවන්තොටුපොළේදී මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඔහුගේ යට ඇඳුම් තුළ සඟවා මෙම “Ball pythons” නැමති සර්ප විශේෂය එරටින් පිටතට රැගෙන යාමට තැත් කර ඇති බව වාර්තා වේ.

තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇති පරිදි තායිලන්ත වනජීවි බලාත්මක කිරීමේ ජාලය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

තායිලන්ත බලධාරීන් සැකකරු සම්බන්ධව සිදුකර ඇති විමර්ශනයේදී සැකකරු සත්ත්ව ජාවාරම් සම්බන්ධව ඉතිහාසයක් ඇති තැනැත්තෙකු බවද අනාවරණය වී ඇතැයි ද වාර්තා වේ.

සැකකරු විසින් නීතිවිරෝධීව ජාත්‍යන්තරව සතුන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේදී හමුවූ පළමු අවස්ථාව මෙය නොවන බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇති අතර ඔහු සම්බන්ධව එරට බලධාරීන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ කොළඹදී ද මේ සම්බන්ධව නඩුවකට අදාළව සැකකරු අත්අඩංගුවට පත්ව ඇති බවය.

සැකකරු සම්බන්ධව ඇතිවූ සැකය මත ඔහුගේ ගමන්මලු පළමුව පරීක්ෂා කර ඇති අතර එහිදී කිසිවක් හමු නොවූ තැන සැකකරුව පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී ඔහු සිය යට ඇඳුම්වල සඟවා රැගෙන යාමට තැත් කළ මෙම සර්පයින් සොයා ගැනීමට බලධාරීන්ට හැකිව ඇත.

මෙම සර්ප විශේෂය නිල අවසර පත්‍රයක් නොමැතිව අපනයනය කිරීම හෝ ආනයනය කිරීම තායිලන්ත රජය විසින් තහනම් කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments