පාසල්වල කොන්ඩම් බෙදන්න හදනවා.. සමලිංගිකයො කසාද බැදල මොනව කරන්නද.. මොන පිස්සොද මේ..- අගරදගුරුට යකා වැහී අමතයි…

මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට හානිකර යැයි පවසමින් රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි විසින් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.

විශේෂයෙන්ම පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට යෝජනා කිරීම සහ සමලිංගික සංචාරකයින් සංවිධානාත්මකව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙලවල් “අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩ පිළිවෙලවල්” බවත්, “වනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න දෙන්න බෑ” බවත්ය.

ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදා දිය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩිව ප්‍රශ්න කළහ.

“කවුද මේ පිස්සු කතා මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ. මේ අපේ රට මේ ලංකාවද ඇමෙරිකාවද එංගලන්තෙද ඕස්ට්‍රේලියාවද” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙම තීරණ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයා ජනාධිපති දන්නවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

එසේනම් “කරුණා කරලා ඕවා නවත්තන්න” ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් මෙරට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩ දිය යුතු බවට ලිපියක් යවා ඇති බවද කාදිනල් හිමිපාණෝ කියා සිටියහ.

උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූයේ, ආදරය, ප්‍රේමය, කරුණාව වැනි උතුම් ගුණාංග සහ ආගමික ඉගැන්වීම් පසෙකට දමා ලිංගිකත්වය උඩින්ම තියාගෙන මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට “මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ” යනුවෙනි.

විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත් බව පිළිගන්නා නමුත්, ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමු කිරීම වැරදි බව කාදිනල් හිමිපාණන්ගේ අදහස විය.

උන්වහන්සේ අවධාරණය කළේ, “අපේ ඇඟ විකුණලා අපිට රට කන්න බොන්නඩ හොයාගන්න ඕන කමක් නෑ” යනුවෙනි.

සමහර ක්‍රිස්තියානි යැයි කියාගන්නා රටවල් වල සංස්කෘතිය මේ වන විට විනාශ වී ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු කසාද බැඳීම, හෝමෝන ගෙන රැවුලක් හදාගෙන කසාද බැඳීම වැනි ක්‍රියා කසාද ජීවිතයක් ලෙස ගත කළ හැකිද යන්න ප්‍රශ්න කරමින් මේවා “විහිළුවක්” ලෙස උන්වහන්සේ හැඳින්වූහ.

රටේ සංස්කෘතිය පිරිහීමට ලක් කරන මෙම ක්‍රියාකාරකම් කරන රජයේ නිලධාරීන් වහාම “අයින් කරලා දාන්න” ලෙස කාදිනල් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටියහ. ඔවුන් එම පුටුවල තබා අපේ සමාජය පිරිහීමට ලක් කිරීමට ඉඩ දිය නොහැකි බව උන්වහන්සේගේ ස්ථාවරය විය.

විශේෂයෙන්ම බුද්ධාගමයේ සිද්ධාන්ත අනුව අවුරුදු දහස් ගණනක් තිස්සේ හැදුණු සංස්කෘතියක් අප රට සතු වන අතර, එම සංස්කෘතිය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

“දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්න ලෙස” ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ “අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්” බව උන්වහන්සේ සඳහන් කළහ.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments