වට්ටක්කා පවුල් දස දහසක් අස්වනු අලෙවි කරගත නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට

මාතලේ, සිවලාකුලම සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල යල කන්නයේ වට්ටක්කා වගා කළ ගොවි පවුල් දස දහසකට වැඩි පිරිසක් අස්වනු අලෙවි කරගත නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ.

යල කන්නයේ අක්කර දහතුන් දහසක පමණ වගා කර ඇති රාජ, ඩුබායි සහ ලීලා යන වට්ටක්කා වර්ගවල කිලෝවක තොග මිල රුපියල් 15/- සිට 30/- දක්වා සීග්‍රයෙන් පහළ ගොස් තිබේ. වට්ටක්කා කිලෝවක නිෂ්පාදන වියදම අවම වශයෙන් රුපියල් 60/- – 70/-ක් වන බව ගොවීහු පවසති.පවතින මිලට අලෙවි කිරීමෙන් වගාවට ගත් කණකර ආභරණ සහ පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ගොවීහු පවසති. නෙළාගත් අස්වනු නිවාසවල ගොඩ ගසාගෙන සිටීමට ඔවුන්ට සිදුව ඇති අතර, දිනපතා කිලෝ 200 – 300ක් පමණ නරක් වී ඉවත් කිරීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.

තඹුත්තේගම සහ දඹුල්ල තොග වෙළෙඳපොළෙහි ඉල්ලුම පහළ යාම හේතුවෙන් බොහෝ ගොවීන් සිය අස්වනු කුණු බක්කියට දැමීමට පෙළඹී සිටින බව කියයි.

ජාතික එළවළු වගා කරන්නන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවා විතාරණ චෝදනා කරන්නේ, විෂය භාර ඇමැතිවරුන්ගේ සහ බලධාරීන්ගේ නොසැලකිල්ල මෙම කෘෂි නිෂ්පාදන අපතේ යාමට සහ ගොවියා අසරණ වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

කිසිම ආණ්ඩුවක් නිවැරදි කෘෂි සංගණනයක් නොකිරීම කෘෂි නිෂ්පාදන අපතේ යාමට සෘජුව බලපා ඇති බවද ඔහු කියයි. රටේ ඉල්ලුම නිවැරැදිව ගණනය කර ඒ අනුව ගොවීන් වගාවට පෙළැඹවිය යුතු වුවත්, එවැනි ක්‍රමවේදයක් ඉතිහාසයේ සිදු කර නොමැති බවද ඔහු අවධාරණය කළේය.

සුනිල් රූපසිංහ – පල්ලේපොල

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments