ගල්ෆ් කලාපයේ පවතින යුද ගැටුම් නිසා මැද පෙරදිග කලාපයට කෙරෙන ශ්‍රී ලංකාවේ තේ අපනයනය කඩාවැටී මාසයකට ඩොලර් මිලියන 50ක පමණ ආදායම් අහිමිවීමක් විය හැකි බව තේ අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඇස්තමේන්තුවලට අනුව මැදපෙරදිග රටවලට තේ අපනයන කිරීමෙන් සතියකට ඩොලර් මිලියන 10-15 ආදායම් අහිමිවීමක් දැනටමත් වී ඇතැයි ද එම සංගමය පවසයි.
2025 සංඛ්‍යාලේඛනවලට අනුව මැද පෙරදිග කලාපයට සිලෝන් ටී තේ කිලෝග්‍රෑම් මිලියන 125ක් පමණ අපනයනය කර ඇති අතර එමගින් අමෙරිකානු ඩොලර් මිලියන 750ක ආදායමක් උපයා තිබේ.
මෙම කලාපයේ ඉරාකය, ඉරානය, ලිබියාව, තුර්කිය, සෞදි අරාබිය, සිරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකවේ තේ ආනයනය කරන ප්‍රධාන රටවල් වන අතර වෙනත් නැව් මාර්ග ඔස්සේ එම රටවලට තේ අපනයනය කළ හැකි වුවත් අධික නැව් ගාස්තු හේතුවෙන් එම රටවල ගැනුම්කරුවන් මේ මොහොතේ තේ ආනයනය කිරීම අත්හිටුවා ඇති බව ද එම සංගමය පවසයි.
තේ සැපයීම සඳහා අපනයනකරුවන් සතුව ඇණවුම් ඇති නමුත් සැපයුම් ගැටලු සහ යුද අවදානම හේතුවෙන් ඇණවුම් සැපයීමට බාධා වී ඇතැයි සංගමය සඳහන් කරයි.
මැද පෙරදිග රටවලට ප්‍රධාන සැපයුම් මාර්ග හෝමුස් සමුද්‍ර සන්ධිය සහ රතු මුහුදේ සූවස් ඇළ වේ.
සූවස් ඇළ අවහිරයක් නොමැති වුවත් යුද අවදානම හේතුවෙන් සැපයුම් මාර්ග දෙකම දැනට ප්‍රධාන නැව් මාර්ග වශයෙන් භාවිත නොකෙරෙන බැවින් එම කලාපයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන් පාහේ නතර වී ඇතැයි තේ අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
යුද ගැටුම් ආරම්භක අවස්ථාවේදී කලාපයේ වරායන් කිහිපයක් තාවකාලිකව වසා දමන ලද නමුත් මාර්තු 4 වන දින සිට නැව් මාර්ග කිහිපයක සීමිත මෙහෙයුම් නැවත ආරම්භ කළ ද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වශයෙන් අඩි 20 කන්ටේනරයක් සඳහා අමෙරිකානු ඩොලර් 1,800ක් ද, අඩි 40 කන්ටේනරයක් සඳහා අමෙරිකානු ඩොලර් 3,000ක් වශයෙන් නැව් ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.
යුද ගැටුම් තත්ත්වය තවත් සති කිහිපයක් පැවතුනහොත් එය තේ වෙන්දේසියට බරපතළ බලපෑමක් ඇති කරනු ඇති බව ත් තේ මිල දී ගැනීම සීමා කළහොත් කුඩා තේ වතු හිමියන්ගේ ආදායමට සෘජුවම බලපෑම් විය හැකි බව ත් සංගමය අනතුරු ඇඟවීම් කරයි.
2026 ජනවාරි මාසයේදී තේ අපනයනයෙන් ඩොලර් මිලියන 121.8ක් උපයා ඇති අතර මෙය ඉකුත් වසරේ ජනවාරි මාසය සමග සැසඳීමේදී සියයට 5ක වැඩිවීමකි.
මේ වසරේ පෙබරවාරි සඳහා සංඛ්‍යා ලේඛන මෙතෙක් ලබා ගත නොහැකි නමුත් පසුගිය වසරට සමාන හෝ ඊට වැඩි විය යුතු යැයි සංගමය කියයි.
