චමරි අතපත්තුට දඩ

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් නියම කිරීමටත්, දඬුවම් ලකුණක් ලබාදීමටත් තරග තීරක මිෂෙල් පෙරෙයිරා මහත්මිය පියවර ගෙන ඇත. 

ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර කොළඹදී පැවැති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඉකුත් සිකුරාදා (9 වැනිදා) දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී සිදුවූ සිදුවීමක් මුල් කරගනිමින් චමරිට මෙම දඩ මුදල නියම කර තිබේ. 

දකුණු අප්‍රිකානු ඉනිමේ 31 වැනි ඕවරයේදී චමරිගේ පන්දුවක් හමුවේ ඇනරී ඩාර්ක්සන් හතරේ පහරක් එල්ල කිරීමෙන් අනතුරුව චමරි, සිය අවු කණ්නාඩි යුගලය ගළවා කැබලිවලට කැඩී යන ලෙස පොලොවේ ගැසීම, ඉහත දඩ මුදල නියම කිරීමට සම්බන්ධ සිදුවීම ලෙස දක්වා තිබේ. 

එහිදී චමරි විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ සහායක පිරිස් සඳහා වන අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති පද්ධතියේ 2.2 වගන්තිය උල්ලංඝනය කරනු ලැබ ඇති බවට අනාවරණය වී තිබේ. “ජාත්‍යන්තර තරගයක් අතරතුර ඇඳුම් පැළදුම්, ක්‍රීඩා උපකරණ හෝ ක්‍රීඩාංගණයේ සවිකර ඇකි උපාංග අනිසි ලෙස භාවිතා කිරීම හෝ ඊට හානි කිරීම” යන්න එම වගන්තියට ඇතුළත් වේ. 

පිටියේ විනිසුරුවරියන් ලෙස කටයුතු කළ ඇනා හැරිස්, දේදුණු ද සිල්වා, තෙවැනි විනිසුරු ලින්ඩන් හැනිබල් සහ සිවුවැනි විනිසුරු නිමාලි පෙරේරා යන මහත්ම මහත්මීන් අදාල සිදුවීම සම්බන්ධයෙන් එම තරගයේ තීරකවරිය ලෙස කටයුතු කළ මිෂෙල් පෙරෙයිරා මහත්මිය වෙත චෝදනා ගොනු කර ඇත. 

කෙසේ වුවත් අදාල සිදුවීමට සම්බන්ධයෙන් චමරි අතපත්තු වරද පිළිගෙන තිබීමත්, තරග තීරක මිෂෙල් පෙරෙයිරා මහත්මිය විසින් නියම කරන ලද දඬුවම භාරගෙන තිබීමත් හේතුවෙන් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණයක් හෝ කරුණු විමසීමක් සිදු නෙකෙරෙන බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව කියා සිටියි.  

(ශානුක අරවින්ද) 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments