චමල් රාජපක්‍ෂ අත්අඩංගුවට…?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

(මූලාශ්‍රය – සිළුමිණ)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments