දකුණේ සමුපකාර සමිති 09ක පාලන බලය සමුපකාර කොමසාරිස් යටතට

නියමිත කාලය තුළ නිලවරණ නොපැවැත්වීම හේතුවෙන් දකුණු පළාතේ විවිධ සේවා සමුපකාර සමිති 09ක පාලන බලය සමුපකාර කොමසාරිස්වරයා යටතට පවරා ගෙන ඇති බැව් දකුණු පළාත් වැඩබලන සමුපකාර කොමසාරිස් චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, කඹුරුපිටිය, බෙරලපනාතර, කොටපොල, දික්වැල්ල, දෙවිනුවර, හක්මන යන විවිධ සේවා සමුපකාර සමිති සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල හා බෙලිඅත්ත යන විවිධ සේවා සමුපකාර සමිති තුළ මෙලෙස නියමිත කාලය තුළ නිලවරණය නොපවත්වා තිබේ.

මෙකී සමුපකාර සමිති විසින් දිගින් දිගටම සමුපකාර නිලවරණය නොපවත්වා පවත්වා ගෙන යාම හේතුවෙන් 2019 අංක 06 දරන සමුපකාර ප්‍රඥප්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව එම සමුපාකාර සමිතිවල පාලනය පවත්වා ගෙන යාම සඳහා පාලක මණ්ඩලයක් පත්කොට ඇති බවද වැඩබලන සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය පැවසුවාය. මෙකී විවිධ සේවා සමුපකාර සමිතිවල පාලක මණ්ඩලය සඳහා සමුපකාර සංවර්ධන නිලධාරියෙකු හා වෘත්තිකයන් දෙදෙනෙකු පත්කොට ඇති බවද ඇය සඳහන් කළාය.

විවිධ සේවා සමුපකාර සමිතියක නිල කාලය වසර තුනක් බවත්, එම නිල කාලය අවසන් වීමෙන් පසු විධිමත්ව නිලවරණයක් පවත්වා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ගත යුතු බවත්, දකුණු පළාත් වැඩබලන සමුපකාර කොමසාරිස්වරිය පවසයි. පාලක මණ්ඩල යටතට පවරා ගෙන ඇති මෙකී සමුපකාර සමිති නවය සඳහා මාස තුනක් ඇතුළත නිලවරණයක් පවත්වා,

එම විවධ සේවා සමුපකාර සමිති ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එවායේ පාලනය පවත්වා ගෙන යාම සඳහා අවස්ථාව ලබාදෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. දුර්වල මූල්‍ය පාලනය හා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙකී සමුපකාර සමිතිවලට චෝදනා එල්ල වී ඇත.

චන්දන සමරවික්‍රම

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments