පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව එය පළාත් මට්ටමින් වෙන වෙනම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ කොමිසම විසින් බව එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවැසීය.
පසුගිය පළාත් සභා මැතිවරණය ද එලෙස වෙන වෙනම පැවැත්වූ අවස්ථා තිබෙන බවද ඔහු කියා සිටියේය. යම් යම් ගැටලු පැවැති පළාත් සභාවල මැතිවරණ වෙන වෙනම එලෙස පැවැත්වුණු බවත් මේ වන විට පළාත් සභා සියල්ල විසුරුවා හැර තිබෙන බැවින් එලෙස වෙන වෙනම පැවැත්වීම හෝ එකවර පැවැත්වීම සම්බන්ධව ගැටලුවක් නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
කෙසේ නමුත් පාර්ලිමේන්තුවෙන් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බවද සභාපතිවරයා පැවැසුවේය.
‘‘පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්වීමට නම් පනතට එකතු කර තිබෙන සංශෝධනය ඉවත් කළ යුතුයි. පළාත් සභා මැතිවරණය සඳහා ලබන වසර (2026) සඳහා ද මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිෂන් සභාව විසින් වෙන්කර ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණය සඳහා රුපියල් බිලියන පහක හෝ හයක මුදලක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම මැතිවරණය සඳහා මේ වසරට ද මුදල් වෙන්කර තිබෙනවා. එහෙත් මෙම වසරේදී නොපැවැත්වුණහොත් එම මුදල් යළි භාණ්ඩාගාරය වෙත යවනවා.
එමෙන්ම මැතිවරණය සඳහා යම් මුදල් ප්‍රමාණයක් මදිනම් එය මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා’’ යැයි සභාපතිවරයා කීවේය.
සාලිය කුමාර ගුණසේකර

