රට පුනරුද යුගයකට යන ගමනේ පොසොන් පෝය ආශිර්වාදයක්

සමස්ත රටම නැවතත් නව පුනරුද යුගයක් වෙනුවෙන් කලඑළි වන සමයක පොසොන් පොහොය නව යුගයට පින්බර ආශිර්වාදයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පොසොන් දින පනිවිඩයෙන් පවසයි.

අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.

මිහිඳු මහරහතන් වහන්සේ උතුම් සද්ධර්මයේ පණිවුඩය රැගෙන ලක්දිවට වැඩම කළ සුවිශේෂී අවස්ථාව ඉමහත් ගෞරවයෙන් සමරන සියලු බෞද්ධ බැතිමතුන්ට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා යි ප්‍රාර්ථනා කරමි. ඒ මහාර්ඝ අවස්ථාව උදාවීමේත්, මෙරට ප්‍රථම මහණ උපසම්පදාව ආරම්භවීමේත් අසිරිමත් සැමරුම අද දිනට යෙදෙයි. ” අනුබුදු දහමින් ලොවම නිවේවා ” යන්න මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ තේමා පාඨය යි.

ඒ අනුව ලොව ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයක එළිය අපගේ ජීවිත වෙත ළඟා කරදීමට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කරගැනීම උදෙසා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

පොසොන් පොහොය ආගමිකව මෙන් ම ඓතිහාසික වශයෙන් ද විශාල වටිනාකමක් එක් කරගෙන ඇත්තේ, මෙරට ජනතාවගේ ආගමික, සංස්කෘතික හා සමාජීය මෙන් ම ආර්ථික තත්ත්වයන් සුවිශේෂී පුනරුදයක් කරා ගෙන යන්නට මඟ පැදූ දිනයක් ලෙසිනි. බෞද්ධ ආගමික ඉතිහාසයට අනුව මෙරට තුළ අවිහිංසාවාදී ජන ප්‍රජාවක් බිහිවීමේහි ලා පළමු පියවර තැබෙන්නේ ද පොසොන් පෝ දා නිමිති කරගනිමිනි.

උදාර සංස්කෘතික ජීවිතයක් ඇති සහකම්පනයෙන් යුතු ජනතාවක් බිහි කිරීමේ පරම වගකීම දරාගත් රජයක් ලෙස අපි අනුබුදු මිහිඳු හිමියන් රැගෙන ආ අවිහිංසාවාදයේ හා සහජීවනයේ පණිවුඩය තව තවත් ඔපමට්ටම් කරමින් බබළවන්නට උපරිම වෙර දරන්නෙමු.

(අංජුල මහික වීරරත්න)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments