විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලුවලට අගමැතිනියගෙන් විසඳුම්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මැතිතුමා, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  සමඟ පැවති සාකච්ඡාවක් 2025/09/12වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමියගේ කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී ඔවුන්ට මතුව තිබෙන වැටුප් අනුපාතය ප්‍රතිශතයක් ලෙස පහත වැටී තිබීම, එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව, අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය.

දැනට ක්‍රියාත්මක වැටුප් වැඩිකිරීමට සමගාමී ව අනධ්‍යයන කාර්යමණ්ඩල වැටුප් අනුපාතය ක්‍රමික ව 20% සිට 11%ටත් දැනට 11%සිට 6.94% දක්වා අඩුවීමේ ගැටලුව වහා විසඳිය යුතු බවට අවධාරණය කෙරිණ. මීට පෙර රාජ්‍ය සේවක වැටුපට සමගාමී ව ඔවුන්ගේ වැටුප ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී තිබූ බවත් අවුරුදු කිහිපයක් ඇතුළත එය ක්‍රමයෙන් අඩු පරතරයකට පත්වී තිබීම ගැටලුවක් බව ද ඔවුහු අවධාරණය කළහ.

ඊට අමතර ව එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව සහ අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ මීට පෙර ද දේශපාලන අධිකාරිය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබුණ ද අවශ්‍ය විසඳුම් ලැබී නොමැති බව ද ඔවුහු පෙන්වා දුන්හ. එමෙන් ම අනධ්‍යයන සේවක හිඟය සහ අලුතින් බඳවා ගැනීමට පියවර නොගැනීම පිළිබඳ ව ද අවධාරණය කළහ.

නව පත්වීම් සම්බන්ධ ගැටලුව මේවන විටත් විසඳී තිබෙන බව ත් අනෙකුත් ගැටලු පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරු ව සියලු ම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සමඟ පවත්වන සාකච්ඡාවකින් පසු ස්ථිර විසඳුම් ලබාදීමට පියවර ගැනීම සම්බන්ධ එකඟතාව පළ විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක් වූහ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments