වි​ශේෂ අවස්ථා යටතේ ගුරුවරුන්ගේ විෂයන් සංශෝධනයට අවසර

විශේෂ අවස්ථා යටතේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ විෂය සංශෝධනය කර ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දී තිබේ.

මෙම අවස්ථාව ලැබෙන්නේ කාණ්ඩ හතක් යටතේ පත්වීම් ලබා සිටින ගුරුවරුන්ට ය.

පත්වීම් ලිපියේ පත්වීම් විෂය සඳහන් නොවන, පත්වීම් විෂය නොව විෂය ධාරාව පමණක් සඳහන්, පත්වීම් විෂය දැනට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විෂය නාමයන්ට වඩා වෙනස්වීම, පත්වීම් විෂය කාලීනව පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් වීම යන කාණ්ඩවලට අයත් ගුරුවරුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. එමෙන්ම පත්වීම් විෂය සඳහන් වන නමුත් ප්‍රධාන ඉගැන්නුම් විෂය ලෙස ඊට පරිබාහිර විෂයයක් ඉගැන්වීම, පත්වීම් විෂය සඳහා වුව ද මාධ්‍ය සඳහන් නොවීම, පත්වීම සිංහල හෝ දෙමළ ලෙස සඳහන් වුව ද පසුකාලීනව රජයේ අවශ්‍යතාව මත ඉංග්‍රීසි හෝ ද්විභාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන්ට ද එම අවස්ථාව හිමි වෙයි.

මේ සඳහා මෙම මස 22 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවෙන අතර පත්වීම් බලධාරී අදාළ අනුමැතීන් කර දෙසැම්බර් මස අවසානයට පෙර සංශෝධන ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාව මින් ඉදිරියට නොලැබෙන බවත් ඉදිරියේ ගුරුවරුන් බඳවා ගැනීමේදී නිශ්චිතව පත්වීම් විෂය තීරණය කෙරෙන බවත් මීට අදාළව අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ සඳහන්ව ඇත.

ඉහත සඳහන් කාණ්ඩ යටතේ ගුරුවරුන් සිටීම හේතුවෙන් පාසල් පද්ධතියේ සිටින ගුරු කාර්ය මණ්ඩල විෂයයන් අනුව ඌනතා හෝ අතිරික්තතා ගණනය කිරීමේදී හා ස්ථාන මාරු කිරීමේ දී ගැටලු පැන නැගී ඇති බව නිරීක්ෂණය වී තිබෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

නිලන්ත මදුරාවල

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments