සායනික රෝගියා පොලිසිය පටලා අංගොඩ යැව්වැයි මානව හිමිකම් පැමිණිල්ලක්

බින්නෝන්මාදයෙන් පෙළෙන සිය පුතු සම්බන්ධයෙන් වැරදි වෛද්‍ය වාර්තාවක් ලබා දී සිවිල් වැරැද්දකට පටලවා අංගොඩ රෝහලට යවා ඇති බව කියමින් නුවරඑළිය ප්‍රදේශයේ පියෙක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඊයේ (ඔක්. 9) පැමිණිල්ලක් කර තිබේ.

නුවරඑළිය මහ රෝහලේ මානසික වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ සේවකයන් පිරිසක් සමග ඇති වූ සිදුවීමක් මුල් කරගෙන වාට්ටුව භාර විශේෂඥ මනෝ වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කිරීමකින් තොරව දුන් වාර්තාවක් මගින් සිය පුතුගේ මානව හිමිකම් කඩ වී ඇති බව කියමින් මෙම පැමිණිල්ල කර ඇත.

නුවරඑළිය මහ රෝහලේ මානසික සෞඛ්‍ය සායනයෙන් මාසිකව ප්‍රතිකාර ලබා ගන්නා සිය පුතු පසුගිය සැප්තැම්බර් 30 වන දා මානසික වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියකගේ නම පවසා ඇය සිටීදැයි රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙකුගෙන් විමසා ඇතැයි ද එහිදී සේවකයන් කීප දෙනෙකු ඔහු පසුපස පන්නා ගොස් පහර දීමට තැත් කර ඇතැයි ද එම පියා කර පැමිණිල්ලේ දැක්වේ.

ඉන්පසු නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් 2025.10.2 දින නිවසට පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ගියේ යැයි ද ඒ පිළිබඳව විමසීමේදී වාට්ටුව භාර විශේෂඥ මනෝ වෛද්‍යවරයා ලබාදුන් වෛද්‍ය වාර්තාවක් මත ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඉන්පසු බදුල්ල බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරය හරහා අංගොඩ මානසික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන බවත පොලිසිය ප්‍රකාශ කර සිටියේ යැයි පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මේ අතර ප්‍රතිකාර ලබා සාමකාමීව මාස කීපයක් සිටි පුතු මෙම සිදුවීමෙන් අනතුරුව දැඩි ලෙස කම්පනයට පත්ව ඇතැයි ඔහුගේ පියා වන එම්.ජී ජානක ඉඳුනිල් ‘මව්බිම’ට පැවසීය.

තව ද, රෝහල් කාර්ය මණ්ඩලය හා රෝගියා වන පුතු අතර ඇතිවූ ආරවුලේදී එම කාර්ය මණ්ඩලයේ ම සාමාජික විශේෂඥ වෛද්‍යවරයා ඒකපාර්ශ්විකව පුතු වැරදිකරු කරමින් වාර්තාවක් සකසා අධිකරණය මගින් පුතුව බන්ධනාගාරගත කිරීම ඇතුළු කරුණු 4ක් යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට ද පැමිණිල්ලක් කළේ යැයි ද ඔහු පැවසීය.

ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙට සැමරීමට රජය සූදානම්ව සිටින මේ අවස්ථාවේ සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරින් මේ අසාධාරණය සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනමින් යුක්තිය ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් කීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments