හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාරිය ඇයගේ දුරකතනය ද ක්‍රියා විරහිත කර දියණියද සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් එම තරුණයාට සැකකාරිය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බව පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ තරුණයා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය විසින් ඇගේ ආයතනයේ සේවය කරනු ලබන තරුණියකට පරිගණකය හසුරුවන ආකාරය උගන්වන ලෙස එම තරුණයාට පවසා ඇති අතර එහිදී එම තරුණයා විසින් එම තරුණියගේ අතින් ඇද අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සදහා  හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු එම තරුණිය ද කැටුව කටාන පොලිසියට පැමිණ තිබුණි.

එහිදී දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය, ඇගේ සැමියා සහ කළමනාකරු විසින් එම තරුණයාට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව හයේෂිකා ප්‍රානාන්දු නැමැත්තිගේ සැමියා සහ කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

(ගයාන් සූරියආරච්චි)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments