24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

පිල්ලෙයාන් ඈදා අභියාචනාධිකරණයට අපහාස කළැයි සමාජ මාධ්‍ය ගිණුම් 6ක් ගැන CIDයෙන් විමර්ශන

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්ට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (අප්‍රේල් 28) අවසර ලබා දුන්නා ය.

අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා එම සමාජ මාධ්‍ය ජාලාවලට ප්‍රශ්න නවයක් යොමුකර ඊට අදාළව පිළිතුරු ලබාගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසට එම බුද්ධි ඒකකය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

රට තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පිල්ලෙයාන් යන අයට විරුද්ධව පැවරූ නඩු කටයුත්තෙන් පිල්ලෙයාන් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට හා තමාට අපහාසයක් වන ආකාරයට එම සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල අසත්‍ය තොරතුරු පළකර ඇති බවත් ඒ සඳහා තමාගේ රාජකාරි නිල ඇඳුම් සහිත ඡායාරූපද පළකර ඇති බවද විනිසුරුවරයා එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති බව ද එම ඒකකය අධිකරණයට දැන්වීය.

එම ප්‍රශ්නගත නඩු කටයුත්ත කිසිදු දිනයක තමා ඉදිරියේ කැඳවීමක් කර නඩු කෘත්‍යයක් ලෙස විභාග නොවූ බව ත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව තොරතුරු දන්වා යවා ඇති බවට විනිසුරුවරයා සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී ඇති බව ත් විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවැසූහ.

එම සිද්ධියට අමතරව තමන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද එම සමාජය මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු පළ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසට අභියාචනාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

පැමිණිලිකාර අභියාචනාධිකරණ විනිසුරුවරයා තම බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව එම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකර තිබෙන අසත්‍ය පුවත් හේතුවෙන් සමස්ත අධිකරණ පද්ධතිය ම හෑල්ලුවට ලක් කරමින් ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට තිබෙන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව ලැබී තිබෙන බලතල ප්‍රකාරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද බුද්ධි ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවැසීය.

Kumudu Upul Shantha

Related posts

ජල ගාස්තුවත් ඉහලට…

IndusaraMedia

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

මහින්දානන්දට ඇප

IndusaraMedia

දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

IndusaraMedia

පෝෂදායි දියර එන්නත් ලබා ගැනීමේදී වැඩි මිල ටෙන්ඩරයට දීලා

IndusaraMedia

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

IndusaraMedia

Leave a Comment