හොරණ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියමයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
මෙම කොල්ලය පෙරේදා (03 වැනිදා) දහවල් 02.50ත් 02.55 අතර කාලයේ සිදුව මෙම කොල්ලයට බැංකුවේම සේවය කරන නිලධාරියෙකුගේ හෝ නිලධාරින් පිරිසකගේ සම්බන්ධයක් ඇත්ද යන සැකය මත පුළුල් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.
මෙම බැංකුවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පෙරේදා (03 වැනිදා) දහවල් කළමනාකරු හමුවට පැමිණ සහකාර කළමනාකරු සේවා මධ්‍යස්ථාන දෙකක් කරා රැගෙන යාමට බැංකුවෙන් පිටතට රැගෙන ගිය මුදල් මලු බැංකු පරිශ්‍රය තුළදී පා ගමනින් පැමිණි පුද්ගලයකු කොල්ලකා පලා ගොස් ඇති බව දැනුම් දී තිබිණි.
ඒ අනුව කළමනාකරු කඩිනමින් බැංකු පරිශ්‍රයෙන් පිටතට පැමිණ පරීක්ෂා කර බලා කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමට කටයුතු කර ඇත.
අනතුරුව සහකාර කළමනාකරු විසින් බැංකුවෙන් පිටතට රැගෙන යන මුදල්වල වටිනාකම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදි රුපියල් 5000 නෝට්ටුවලින් රුපියල් 35000000 ක් අඩංගු ලා ක්‍රීම් පැහැති රාජ්‍ය බැංකුවේ ලාංඡනය සහිත රෙදි මලු දෙකක් මෙලෙස කොල්ලකා ඇති බවට තහවුරු කරගෙන ඇත.
අදාළ කොල්ලය සිදුවීමෙන් අනතුරුව මුදල් මලු දෙක භාරව සිටි සහකාර කළමනාකරු පොලිසිය රැගෙන විත් දිගින් දිගටම ප්‍රශ්න කළද කිසිදු වැදගත් හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
ඔහු සේප්පුවෙන් මුදල් ලබා ගන්නා අයුරු බැංකුව තුළ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව ඇතත් බැංකු පරිශ්‍රයෙන් පිටවෙන දොර එහි පැත්තක පිහිටා ඇති බැවින් එම පෙදෙසට බැංකුවෙන් සීසීටිවි කැමරා සවිකර නොමැති බවද සැක කටයුතු පුද්ගලයෙක් මුදල් මලු රැගෙන යන ආකාරයක් අවට සිසිටිවි කැමරාවලද සටහන්ව නැතැයි විමර්ශන පැවැත් වූ පොලිස් කණ්ඩායම් කිහිපයක නිලධාරීන් පැවසීය.
