2025 වසරේ ආරම්භ කෙරෙුණු වනස්පති වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම එළැඹෙන ජුනි මස 5 වැනි දින තවත් රක්ෂිත 5ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ අනුව සමස්ත රක්ෂිත ප්‍රමාණය 86ක් දක්වා ඉහළ යනු ඇත.
එළැඹෙන ජුනි 5 වැනි දින රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙනුයේ රිටිගල, අලියාවැටුණුවැව රක්ෂිතය, බුලාගල, කෝන්කැටියාව සහ, කල්ලංචි නම් රක්ෂිත වේ.
අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ 2025 වසරේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙුණු වනාන්තර 29 තුළ දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් පැවැති බවය.
ඉන් පසු ජගත් වනාන්තර දිනයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙුණු වනාන්තර 50 තුළ රක්ෂිත හෙක්ටයාර 12,989ක් පැවැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
“වනස්පති වැඩසටහන අපි නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 2025 ජූලි 15 වෙනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයේදී. 2025 වසරෙදි පමණක් අපිට හැකියාව ලැබුණා වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන්න. මෙම වනාන්තර 29 තුළ දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් අපි පළවෙනි වසර තුළදි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා.
ඊට පස්සේ 2026 වසරෙදි අපි ජගත් වනාන්තර දිනයයේදි තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. එම රක්ෂිත දිස්ත්‍රික් 4ක් නියෝජනය කළා අම්පාර, බදුල්ල, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්කවල වනාන්තර 50ක් අපි රක්ෂිත ලෙස ප්‍රකාශට පත් කළා ඒ තුළ තිබුණා හෙක්ටයාර් 12,989ක්. මෙම වනාන්තර තුළ තිබුණා අපේ රටේ මධ්‍ය කඳුකරයේ අඩි 5,000ට වඩා උස ප්‍රදේශවල තියෙන රක්ෂිතත් අපි මේ වනනාන්තර 50 තුළට අඩංගු කර ගත්තා.
ඉන් පස්සේ පසුගිය අප්‍රේල් මාසයේදී පැවතුණු ඒහිපස්සිකෝ සාම පාගමන. මේ සාම පාගමනට සමගාමිව තවත් වනාන්තර 2ක් අප්‍රෙල් මාසේ 24 වැනිදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. එක් වනාන්තරයක් මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය, අනික කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිගම් පැලැල්ල කියන වනාන්තර 2ක රක්ෂිත ලෙස ප්‍රකාශටයට පත් කළා. මේ රක්ෂිත ගොන්නට තවත් රක්ෂිත 5ක් එළැඹෙන ජගත් පරිසර දිනයේදී එකතු කරන්න තීරණය කරලා තිබෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ රක්ෂිත 5ම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ.
ප්‍රධාන වශයෙන් අපේ රටේ විශේෂ සංවේදී කලාපයක් වන රිටිගල රක්ෂිතය, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය, කල්ලංචි කියන රක්ෂිත 5 අපි එළැඹෙන 2026 ජුනි 5 වැනිදා ජගත් පරිසර දිනයේදී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ඒ තුළ හෙක්ටයාර 2,169ක ප්‍රමාණයක් තිබෙනවා.”
