විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමින්ය.
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වළක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
මෙම ක්‍රියාවලිය කඩිනම් කර මහජනතාව සහ මෙම මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරිමට එමගින් හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළෙහි ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරුණු අතර “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් බව නිලධාරීහු පෙන්වා දුන්හ.
“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු, 2025.10.30 වන දින සිට මේ දක්වා ගංජා කිලෝ ග්‍රෑම් 5437.457ක්ද, හොරොයින් කිලෝ ග්‍රෑම් 1936.325ක්ද, අයිස් කිලෝ ග්‍රෑම් 1991.414ක්ද, කොකේන් කිලෝග්‍රෑම් 271.724ක්ද, මත්පෙති 1,574,895ක්ද, නීති විරෝධී සිගරට් 629,988ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඊට අදාළව සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට ගෙන තිබේ.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර 2007 අංක 54 දරන පුනරුත්ථාපන (සංශෝධිත) පනත් කෙටුම්පත ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කෙරිණි. පුනරුත්ථාපන ක්‍රියාවලිය, එහිදී අනුගමනය කළ හැකි ක්‍රමෝපාය මෙන්ම පහසුකම් සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබවඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයෙන් පසුව යළි ඇබ්බැහිවීම වැළැක්වීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ වෙනුවෙන් පෞරුෂය සහ ආකල්ප සංවර්ධන වැඩසටහන්, රැකියා ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් සහ ස්වයංරැකියා සඳහා සහාය ලබා දීම ආදී වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙන බව සඳහන් කෙරිණි.
එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, මත්ද්‍රව්‍ය හේතුවෙන් වැඩිම පීඩාවට පත් වූ පවුල් 25 බැගින් තෝරා ගෙන ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර, එම සියලු වැඩසටහන් ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට පමණක් සීමා නොවී, එම පණිවිඩය නිසි ලෙස සමාජගත වී ඇත්ද සහ එහි ප්‍රගතිය පිළිබඳ නිරන්තර පසු විපරමක නිරත වීමේ අවශ්‍යතාවද පැහැදිලි කළ ජනාධිපතිවරයා ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් එම යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍යවලට අදාළ නඩු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම වේගවත් කිරීම සහ නඩු පැවරීම් කඩිනම් කිරීමට ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.
මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව බන්ධනාගාරගතව සිටින පිරිස් සම්බන්ධ නීතිමය කටයුතු සහ එම ක්‍රියාවලිය කඩිනම් කර, බන්ධනාගාර තදබදය මඟහරවා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍යවලට අදාළව පසුගිය දා අත්අඩංගුවට ගත් භික්ෂුන්වහන්සේලා සම්බන්ධ විමර්ශන කටයුතු සහ පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී පොලිස්පතිවරයා විසින් පැහැදිලි කරන ලදී.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු කිරීමට ක්‍රියාත්මක සංවිධානාත්මක වැඩපිළිවෙළ මැඬලීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කාර්යාංශය එක්ව ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය මෙන්ම ජූනි 26 දිනට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ප්‍රජාව මුල් කර ගනිමින් සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාව දැනුවත් කෙරිණි.
