මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරුඅමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලි‍මේන්තුවේදී රැස් විය.

මැතිවරණ ක්‍රමයට අදාළ වන නීති, එනම් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එකී පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීමද මෙම කාරක සභාවේ මුඛ්‍ය අරමුණ වේ.

ඊට අමතරව, උක්ත පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීම ද මෙම කාරක සභාව වෙත පැවරී තිබේ.

ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් හෝ ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව හෝ, ලබා ගැනීමට ද කාරක සභාවට බලය හිමිවේ. 

තවද, කාරක සභාවේ කටයුතුවලට සහාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද අවස්ථාව හිමි ව තිබේ. 

ඒ අනුව, කාරක සභාවේ කටයුතු සඳහා මහජන අදහස් ලබා ගැනිමට සහ මෙම සමාලෝචන ක්‍රියාවලිය පිළිබඳ පුළුල්ව මහජනතාව දැනුවත් කිරීමටද සාමාජික මන්ත්‍රීවරයන්ගේ ඒකඟතාවය හිමි විය. 

මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය (නීතිඥ) සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, (නීතිඥ) තුෂාරි ජයසිංහ, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments