වැවිලි කර්මාන්ත කටයුතු සඳහා පුද්ගලික සමාගම් වෙත ලබාදී තිබූ ආදිවාසීන්ගේ නිජබිම් සේ සැලකෙන රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ඉඩම් යළි ආදිවාසීන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට පැවරීම අභියෝගයට ලක්කරමින් වැදි නායක ඌරු වරිගයේ වන්නියලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර මහවැලි අධිකාරිය විසින් මෙම දැනුම්දීම සිදු කළේය.
ආදිවාසී නායකයා සිය පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ පොල්ලබැද්ද සහ රඹකැන්ඔය ප්‍රදේශවල පිහිටි සිය පාරම්පරික ඉඩම් වැවිලි කර්මාන්ත කටයුතු සඳහා පුද්ගලික සමාගම්වලට ලබාදීමට මහවැලි අධිකාරිය විසින් කටයුතු කළ බවයි.
මෙම ක්‍රියාව තුළින් තම ප්‍රජාවට දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඒ අනුව අදාළ ඉඩම් පැවරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
එම පෙත්සම ඊයේ සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ආදිවාසීන්ට අයත් අදාළ ප්‍රදේශවල පිහිටි ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බවට මහවැලි අධිකාරිය විසින් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාළ ප්‍රදේශවල වනාන්තර විනාශ කළ පුද්ගලයන්ට යළි වන වගා සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙන බව සිහිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 25 වැනිදා කැඳවන ලෙස නියම කළේය.
