Ceylon Times

Challenging Ideology

ඇල්ල රොක් කන්ද තරණය කළ බ්‍රිතාන්‍ය ජාතිකයා ලෙඩවී මරුට

මගේ උපන් දිනය සමරන්න තමයි තාත්තා ශ්‍රී ලංකාවට ආවේ. අපි 26 වැනිදා උදේ ඇල්ල රොක් කඳු මුදුනට නැග්ගා. තාත්තාට එකවරම පපුවේ අමාරුව හැදුණා. මම උපරිමයෙන් ප්‍රථමාධාර කළා. අවට සිටි කිහිප දෙනෙකුත් ප්‍රථමාධාර කළා. තාත්තා ත්‍රීවීල් එකකින් පහළට රැගෙන ගිහිං 1990 ගිලන් රථයකින් බණ්ඩාරවෙල රෝහල වෙත ගෙනගියත් ඔහු අපව හැර ගියා යැයි සිය දියණියගේ 34 වැනි උපන් දිනය සැමරීම සඳහා මෙරටට පැමිණ සිටියදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික බ්‍රේට් මැක්ලීන්ගේ දියණිය වන නටාලි අනේනාෂ් බණ්ඩාරවෙල පොලිසිය හමුවේ පැවසුවාය.

ඇය වැඩිදුරටත් මෙසේ කීවාය.

මියගියේ මගේ පියා. අපි නිවාඩුව ගතකරන ගමන් මගේ උපන් දිනය සමරන්න ශ්‍රී ලංකාවට ආවා. තාත්තා අවේ 16 වැනිදා. අපි මාතර තලල්ල ප්‍රදේශයේ හෝටලයක නතර වෙලා 23 වැනිදා දින දෙකක් ගතකරන්න ඇල්ලට ආවා. 26 වැනිදා උදෑසන 09.30 ට අපි ඇල්ල රොක් කඳුවැටිය තරණය කරන්න පටන් ගත්තා. අපිට ගොවි මහත්තයකු මුණ ගැසුණා. ඔහු හිටියේ උඩට යන ගමන්. ඔහු අපිට පාර පෙන්නුවා.

අපි ටික දුරක් නගින කොට තාත්තාට පපුව රිදෙන බව කීවා. ඉඳගන්නා ගමන් කීවා මට අසනීපයි. හිසත් කකියනවා කියලා. අපිට ඇල්ල රොක් මුදුනට නගින්න පැය දෙකක් ගත වුණා. කන්දට නැගලා තාත්තා නැවත වාඩිවුණා. විනාඩි 10 ක් විතර ඉඳලා නැගිට්ටා. ඒ වෙලාවේ අපි පොටෝ එකකුත් ගත්තා. ඊට පස්සේ තාත්තා කීවා පපුව රිදෙනවා කියලා. පස්සේ එයා ගලක හාන්සි වුණා. මම පපුව මසාජ් කරමින් ප්‍රතිකාර දුන්නා. තවත් කිහිපදෙනකු උදව්වට ආවා. ත්‍රීවීල් එකක් එනකල් මම කෘත්‍රිම ශ්වසනය දුන්නා. ත්‍රීවීලරයෙන් පසුව 1990 ගිලන් රථයෙන් බණ්ඩාරවෙල රෝහලට ගෙන ගියා. රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් සිටියා යැයි ඇය සඳහන් කළාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය විසින් අධිකරණයට කරුණු වර්තා කිරීමෙන් පසු බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර විසින් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර මළ සිරුර බදුල්ල ශික්ෂණ රෝහලට යවා එහි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ බදුල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්. කේ.බී. වි‍ජේතුංග සිය වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

පී.කෝකු හැන්නදි -ඇල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *