අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය, රාජ්‍ය මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සංඥාවක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රුපියල් ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේක වශයෙන් ගෙවා තිබීම ජනතා බදු මුදල් සම්බන්ධයෙන් දක්වන වගකීම් විරහිතභාවය තවදුරටත් හෙළිදරව් කරන බවය.
එම නිවේදනයට අනුව පුද්ගලයින් 49,759 දෙනෙකු වෙත අදාළ ගෙවීම් සිදුකර ඇති අතර, මෙතෙක් නැවත අයකර ගැනීමට නොහැකි වී ඇත්තේ එම මුදල පමණක් බවද එහි දැක්වේ.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින සියලු පාලන හා තුලන ක්‍රමවේදයන්ට පිටතින් මෙම මුදල් ජනතාව අතට පත්වීම බරපතළ කරුණක් බව පෙන්වා දෙන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, මහා භාණ්ඩාගාරය මේ වන විට මූල්‍ය විනයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇති බවටද චෝදනා කරයි.
මෙවැනි මුදල් හුවමාරු අනාගතයේදී රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධ අපරාධ, දූෂණ හෝ වංචා චෝදනා යටතේ විමර්ශනය කළ හැකි ගනුදෙනු බවද එම සංවිධානය පෙන්වා දෙයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් අදාළ මුදල මැයි මස වාරිකයෙන් නැවත අයකර ගැනීමට කටයුතු කළහොත්, රටේ අන්ත දිළිඳු පවුල්වල පෝෂණ සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අතපසුවීම් හේතුවෙන් රටේ අන්ත දිළිඳු ජනතාව වන්දි ගෙවිය යුතු නොවන බව අවධාරණය කරන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, මහා භාණ්ඩාගාරය පළපුරුදු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ පාලනය යටතට පත් කළ යුතු බවද සඳහන් කරයි.
එසේ නොවන්නේ නම් භාණ්ඩාගාරයේ මෙවැනි අතපසුවීම්, වරදකාරී ගනුදෙනු සහ සයිබර් ප්‍රහාර හේතුවෙන් ජනතා බදු මුදල් අහිමිවීම තවදුරටත් සිදුවිය හැකි බවද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි.
