මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුදල් විශුද්ධි කරණය වැලැක්වීම/ත්‍රස්ත වාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම කෙරෙහි අනුකූලව කටයුතු කිරීම තහවුරු කිරීමේ අරමුණින්, 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ විධිවිධාන යටතේ 2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් නියාමනය කිරීම සඳහා වන නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ඒ අනුව ඇපයෙන් සීමිත සමාගමක්, අක් වෙරළ සමාගමක් හෝ විදේශීය සමාගමක් හැර 2007 අංක 07 දරන සමාගම් පනතේ විධි විධාන යටතේ ලියාපදිංචි කරන ලද සමාගම් පමණක් එකී නියෝග යටතේ ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
එසේ වුවද, විදේශීය මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් ශ්‍රී ලංකාවේ සිටින තම නියෝජිතයන් හරහා තම සේවා සැපයීමේ නිරතව සිටින බවත්, එම ආයතන වලට දැනට බලාත්මක නියෝග අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත්, නිරීක්ෂණය කරනු ලැබ ඇත.
ඒ අනුව විදේශීය මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා ද ලියාපදංචි සහතිකයක් ලබා ගැනීමට නීතිමය ප්‍රතිපාදන සැලසෙන අයුරින්, 2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග සංශෝධනය කරමින්, 2025 -12-23 දිනැති අංක 2468/06 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2025 අංක 1 දරන මුදල් හෝ වටිනාකම පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
