දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා අද (8) පෙරවරුවේ පැමිණීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසා සිටියේ, මෙලෙස විදෙස් රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ වසර 11කට පසුව බවය.
අවසන්වරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ බව ඇය සඳහන් කළාය.
මේ අතර වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු උත්සවයකදී රාජ්‍ය නායකයෙකුට පිරිනමන සියලු ගෞරවාචාර ලබාදීමට කටයුතු සලසා ඇති බවද පාර්ලිමේන්තු මහලේකම්වරිය මෙහිදි පැවසුවාය.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වනු ලබන වීථි පෙළපාලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් අනතුරුව කථානායකවරයා විසින් වියට්නාම ජනාධිපතිවරයා පිළිගනු ලැබේ.
ඉන් අනතුරුව ජනාධිපති ටෝ ලම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතම බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පැමිණීමට නියමිතය.
