23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

මුල්‍ය වංචාවකට වරදකරු වී සිර දඩුවම් නියම වූ අයෙක් ජනාධිපති සමාවෙන් නිදහස්…

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව නඩුව පෙරේදා (4දා) යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි. අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටින ඩබ්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරු ඉකුත් මැයි මස 12 දිනට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළේ විත්තිකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙසය.

මෙම නඩුව මීට පෙර ඉකුත් මැයි මස 2 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය තීන්දු කළාය.

ඒ අනුව මුදලින් රු.20,00ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය. ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසර පහකට අත් හිටුවීමට නියෝග කළාය.

තවද විත්තිකරු විසින් වින්දිත පාර්ශ්වය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ. නියම කළ දඩ සහ වන්දි මුදල් ගෙවීමට මෙම නඩුව 2025/06/04 දින යළි කැඳවීමටද එදින නියෝග කළාය.

ඒ අනුව පෙරේදා (4දා) මෙම නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න යන අය නීතිඥ සුරංග මොහොට්ටි මහතා මගින් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2014 වසරේ පෙබරවාරි මස 17 දින සිට 2014 වසරේ ජුනි මස 9 වැනි දින අතර කාලයෙහි අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයෙහි පිහිටි අනුරාධපුරයේදී විත්තිකරු කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ 40ක් සාපරාධ විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය පරිහරණය සිදු කරන ලැදයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකාර හිටපු මූල්‍ය ආයතන කළමනාකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බධන්යෙන් විමර්ශන මෙහෙයවා තිබේ. විත්තිකාර ඩබ්. එම්. අතුල තිලතරත්න යන අය සීඩීබී බැංකුවේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයාව සිටිමින් මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණ.

වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න යන අයට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේද තවත් නඩු කිහිපයක් පවතී. ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්වලට අදාළ ඒවා වීම විශේෂත්වයකි.

අනුරාධපුර උපාලි ආනන්ද
ADA

Related posts

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

IndusaraMedia

තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි..

IndusaraMedia

යුද සමයේ ඉන්දියාවට පලාගිය සරණාගතයින්ට මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවතට

IndusaraMedia

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16

IndusaraMedia

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රටට මග කියන ඉහළ මට්ටමේ සංකල්පීය රාමුවක්..- රජයෙන් නිවේදනයක්..

IndusaraMedia

වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා -ජනපති

IndusaraMedia

Leave a Comment